27. දීඝභාණක අභයමහතෙර

මුන්වහන්සේගේ නාමය අටුවා කීඵයකම සඳහන්ව තිබේ. දික්සඟිඅටුවාහි මහාපරිනිර්‍වණ සූත්‍ර‍වර්‍ණනාවෙහි මෙතුමාගේ ස්මරණ ශක්තිය ගැන භික්‍ෂූන් විචාළවිට තෙරණුවෝ “මා ඉපද නවවෙනිදා මාගේ මෑණියන් මා සිපගනු සඳහා පහත්වූවිට ඇගේ කෙස්වැටිය ලිහීයාමෙන් කොණ්ඩය සැරසීමට යොදා තිබුණු නැළියක් පමණ සමන් මල් මාගේ ළය මත්තෙහි වැටී මට දුකක් ඉපදවිය. එදා සිට සිදුවූ දේ සියල්ල මම සිහිකරමි”යි කීය.

එම සූත්‍ර‍ අටුවාහිම තවත් තැනක සකෘදාගාමී පුද්ගලයාගේ ක්ලේශ බහුලත්වය සම්බන්ධයෙන් මේ තෙරුන්ගේ මතයක් දක්වා තිබේ.

මැදුම්සඟිඅටුවාවේ සබ්බාසවසූත්‍ර‍වර්‍ණනාවෙහි මෙසේ දැක්වේ. දීඝභාණක මහාභයතෙරුන් මහාඅරියවංස පටිපදාව දෙසන විට සියලු මාගම්පුර වැසියෝ රැස්වූහ. එතුමාට මහත් සත්කාරද උපණි. ඒ සත්කාරය ඉවසිය නොහැකි එක් මහතෙර නමක් “දීඝභාණකයා ආර්‍ය්‍යවංශය කියමියි රෑ මුළුල්ලේ කලබල කෙළේය.” යනාදිය කියමින් ආක්‍රොශ කෙළේය. ඒ දෙනම තම තමන්ගේ විහාරවලට යන්නාහු ගව්වක් පමණ දුර එකම මග ගියහ. මහතෙර ඒ ගව්ව මුළුල්ලේම ධර්‍මදේශක තෙරුන්ට නිග්‍ර‍ය කෙළේය. වෙන්ව යන තැනදී දීඝභාණක තෙරනම මහලු තෙරුන්ට වැඳ “ස්වාමීනි, මේ ඔබ යන මගය”යි කීවිට මහතෙර නෑසෙන්නාසේ කිසිවක් නොකියාම ගියේය. දීඝභාණක තෙරුන් විහාරයට ගොස් පාසෝදා වැඩහුන් විට එතුමන් සමඟ ආ අතවැසි භික්‍ෂුව “ස්වාමීනි, ගව්වක් මුළුල්ලේ අපහාසකළ ඒ තෙරනමට කිසිවක් නොකීවේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “ඇවැත, ඉවසීම මට භාරය; කමටහනින් තොරවූ සිතින් එක් පියවරක්වත් නො එසවීමි”යි කීය.

එක්තරා පිණ්ඩපාතික තෙරනමක් රහත් ද නො රහත්දැයි දැනගත නො හැකි වූ මේ අභය තෙරණුවෝ ඒ පිණ්ඩපාතික තෙරුන් කැළණිගංමෝයේ නාන්ට ගිය විටක දී දිය යටින් කිමිද ගොස් ඒ තෙරුන්ගේ පාදය අල්වන සේ තමන්ගේ අතවැසි නමකට කීහ. ඒ භික්‍ෂුනම එසේ කළ විට පිණ්ඩපාතික තෙරනම කිඹුලෙකැයි සිතා කෑ ගැසුවේය. එයින් ඒ තෙර රහත්නොවන බව ප්‍ර‍කට විය. මේ ප්‍ර‍වෘත්තිය මැඳුම්සඟි අටුවාහි ජබ්බිසෝධන සූත්‍ර‍වර්‍ණනාවෙහි (869) එයි.

මේ තෙරුන් කලක් මිහින්තලා විහාරයෙහි අධිපතිව විසූසේ දැක්වෙන ප්‍ර‍වෘත්තියක් විනයඅටුවාහි තතියපාරාජිකවණ්ණනාවෙහි පෙනේ:- එක්කලක පන්සියයක් සොර පිරිස ඇති අභය නමැති සොර දෙටුවෙක් අනුරාධපුරය අසළ කඳවුරු බැඳගෙන හාත්පසින් තුන් යොදුනක් පමණ තැන බලපැවැත්වීය. අනුරාධපුර වැසියෝ කොළොම් හොයෙන් එතරට යන්ට භය වූහ. මිහින්තලයට යන මග මිනිසුන්ගෙන් හිස්විය. සොර තෙමේ එක් දිනක් මිහින්තලා විහාරය කොල්ලකෑමට ගියේය. විහාර පාලකයන් ඒ බව දීඝභාණක අභය තෙරුන්ට දැන්වූ විට තෙරණුවෝ “සංඝයා උදෙසා ගෙනා සහල් ආදියත් පස්ගෝරසයත් ගෙන ආහාර සම්පාදනය කොට සොරුන්ට දෙව්” යයි කීහ. සේවකයන් එසේ කළ විට සොරු ආහාර අනුභව කොට “මේ සංග්‍ර‍හය කවරකු විසින් කරනලදදැ”යි ඇසූහ. අපගේ ස්වාමි වූ අභය තෙරුන් විසිනැයි කීවිට සොරු තෙරුන් වෙත ගොස් වැඳ “සංඝයාටත් චෛත්‍යයටත් අයිති දේ පැහැර ගන්නෙමු යි ආ අපි ඔබගේ මේ සංග්‍ර‍හයෙන් සතුටු වී එයින් වැළකුණෙමු. අද පටන් විහාරයේ රැකවල අපට අයත් වේවා; නුවර වැසියෝ අවුත් දන්දීම් ආදිය කරත්වා”යි කීහ. එතැන් පටන් දන්දීම් ආදිය සඳහා එන නාගරිකයන් කොළොම් ඔයේ සිට ආරක්ෂා කරමින් විහාරයට පමුණුවා කටයුතු අවසන් වූ පසු නැවත ඔය වෙතට පැමිණවූහ. භික්‍ෂූන් වළඳා ඉතිරි වූ දෙය සොරුන් අනුභව කළහ.[1]

සොරබිය සංසිඳුණු පසු “තෙරුන් වහන්සේ අධිපතිභාවයෙන් සංඝසන්තක දෙය සොරුන්ට දුන්හ”යි චෝදනාවක් ඇතිවිය. එවිට තෙරණුවෝ සංඝයා රැස් කරවා, “සොරුන් සංඝසන්තකවූත් චෛත්‍යයසන්තක වූත් සියලු දෙය පැහැර ගැන්මට ආහ. මම ඒවා නොගැන්ම සඳහා මෙතෙක් දෙයින් සංග්‍ර‍හ කෙළෙමි. සොරුන්ට දුන් දෙයෙහි වටිනාකමත් ඔවුන් පැහැර නොගත් දේවල වටිනාකමත් සසඳා බැලුව මැනවැ”යි කීහ. එසේ සසඳන විට සොරුන්ට දුන් දෙයෙහි වටිනාකම චෛත්‍යගෘහයේ අතුරා තිබුණු එක් පලසක වටිනාකමටත් අඩුබව පෙනී ගියේය.

සොරුන් 500 කට කෑම දීමට කළ වියදම එක්පලසක වටිනාකමට අඩු වී ඒ කාලයෙහි අම්බස්ථල චෛත්‍යගෘහයේත් ඒ මහාවිහාරයේත් වටිනාකම කෙතෙක් විය හැකිදැයි සලකා බැලිය යුත්තකි. මේ මිහින්තලා විහාරයේ තිබුණු ගොඩනැගිලි ආදියේ විස්තරයක් සද්ධර්‍මාලංකාරයෙහි සමණගාම වස්තුවෙහි එයි; එය මෙසේ යි:- “ඒ විහාරය තුන්සිය සැටක් පමණ ධාතුගර්භ සමූහයකින් ප්‍ර‍තිමණ්ඩිතය, එසේම විචිත්‍ර‍ කර්‍මාන්තයෙන් හොබනා සිය ගණන් ප්‍ර‍තිමාගෘහපන්තීන් ගෙන් යුක්තය; මහත් වූ බෝධිවෘක්‍ෂ පන්තීන් සැරහුනා වූ අතිධවල වැලිමලු පෙළින් විරාජමානය............. තවද එක් දහස් සාරසිය සතළිස්හයක් පමණ වූ පිරිවෙන් ගෙවල් පන්තීන් අතිසෝභමානව දර්‍ශනීය වූ ඒ විහාරය දුටු දුටු යම් කෙනෙකුට සතුටු සොම්නස් එළවයි. එහි වසන්නා වූ අල්පේච්ඡතා දී ගුණෝපෙත ප්‍ර‍තිපත්තිසාර වූ දොළොස් දහසක් පමණ මහාසංඝයා වහන්සේ ය.”

විසුද්ධිමාර්‍ගයේ ශීලනිර්‍දෙශයෙහි මේ ප්‍ර‍වෘත්තිය පෙනේ:- “තාම්‍ර‍පර්ණි” ද්වීපයෙහි සොරු එක් තෙරනමක් වනයක් මැද දි අල්ලා රසකිඳ වැලකින් බැඳ තැබූහ. ලැව්ගින්නක් එන කල්හි එතුමා ඒ වැල නොකඩාම විදසුන් වඩා රහත් වී පිරිනිවියේ ය. දීඝභාණක අභයතෙර පන්සියයක් භික්‍ෂූන් සමඟ එතැනින් යන්නේ තෙරුන්ගේ මළ සිරුර දැක එය දවන්ට සලස්වා චෛත්‍යයක් කරවිය.” (ඉං. 36)

එහිම අනුස්සතිකම්මට්ඨාන නිද්දෙසයෙහිද මේ තෙරුන්ගේ නම කියවේ. කායගතාසතිය වඩා එක් එක් කුණප කොටසෙහි වෙන් වශයෙන් ධ්‍යාන ලබාගත් මල්ලක නමැති තෙරනමක් දීඝභාණකඅභය තෙරුන් අතින් අල්වාගෙන “ඇවැත් අභය, මල්ලකස්ථවිර දෙතිස් කොටස්හි දෙතිස් ප්‍ර‍ථමධ්‍යානයක් ලැබීය” යනාදිය කීය. (ඉං. 266)

අංගුත්තර අටුවාහ තිකනිපාත වණ්ණනා (386) වෙහි මේ කථාව පෙනේ:- දීඝභාණක මහාඅභය ස්ථවිරතුමා ආර්‍යවංස ප්‍ර‍තිපදාව දේශනා කරන්නේ ය යි අසන්ට ලැබී උල්ලකොල කණ්ණිකාවෙහ [2] වැසි එක් ස්ත්‍රියක් යොදුන් පසක් මඟ ගෙවා දහම් දෙසන තැනට පැමිණ පුත්‍ර‍යා බිම හොවා සිටගෙනම බණ ඇසීය. තෙරණුවන් ප්‍ර‍ත්‍යය තුනක විස්තර කියා නැඟිටින්ට සැරසෙන විට ඒ ස්ත්‍රිය “ආර්‍ය්‍යයන් වහන්සේ දහම් දෙසන්නෙමුයි සිනිඳු ආහාර ද මිහිරි පානයන් හා වැල්මී ආදිය ද වළඳා සැරසී දෙසිය යුතු දෙය නවතා නැගිටිති”යි කීය. තෙරණුවන් එයසා නො නැගිට භාවනාරාමකථාව දේශනා කළහ. අරුණ නගින කල්හි ධර්‍මදේශනාවේ අවසානයත් ඒ ස්ත්‍රියගේ සෝවාන්ඵලය ලැබීමත් එකවිට සිදුවිය.

  1. අඨසාලිනී නික්ඛපකණ්ඩවණ්ණනාවෙහිද මේ සිද්ධිය සංක්‍ෂෙපයෙන් පෙනේ.

  2. උබ්හකොළ කණ්ණිකා යයි ද පෙනේ. කණ්ණිකාව නම් පත්තුවක් වැනි ප්‍රදේශයකි.