4. මඞ්ගණවාසී ඛුජ්ජතිස්ස මහතෙර

(බු.ව. 350-425 අතර)

සද්ධාතිස්ස මහරජ වරක් තමා විසින් සත්කාර කළ යුතු රහත් නමක් ගැන ඇසූ විට භික්‍ෂූහු මංගණවැසි ඛුජ්ජතිස්ස තෙරනම මහාගුණසම්පන්නයෙකැයි කීහ. රජතෙමේ මහපිරිස් පිරිවරා ගෙන අනුරාධපුරයෙන් පස්යොදුන් පමණ තැන පිහිටි ඒ විහාරයට ගියේ ය. මහපිරිසේ ශබ්දය ඇසූ තෙරණුවෝ “මේ කිනම් ශබ්දයක්දැ”යි විචාරා “ඔබ දැකීමට රජ පැමිණියේය”යි කීවිට “මහලු කල මට රජගෙයින් ඇති වැඩය කිමෙක්දැ”යි සිතා දිවාස්ථානයෙහි වූ ඇඳෙහි වැතිර බිම ඉරි අඳිමින් හුන්හ. රජතෙමේ සමීපයට ගොස් එය දැක “රහතන්ගේ මෙවැනි හස්තවිකාරයක් නැත. මෙතුමා රහත් නොවන්නේය”යි සිතා නොවැඳම හැරී ගියේය. “කුමක් හෙයින් ශ්‍ර‍ද්ධාවත් රජ කලකිරවන ලද්දේදැ”යි භික්ෂූන් විසින් විචාරන ලද්දේ “රජු පැහැදවීම මහලු තෙරුන්ට බාරය”යි කීය.

පසුකලක පිරිනිවෙන තෙරණුවෝ “මාගේ සිරුර තබන කුළුගෙයි තවත් ඇඳක් තැබිය යුතුය”යි භික්‍ෂූන්ට දැනුම් දී එසේ කළ පසු “මේ කුළුගෙය රජු විසින් දක්නා තුරු බිමට නොබසීවා”යි අධිෂ්ඨාන කොට පිරිනිවියහ. කුළුගෙය පස්යොදුනක් දුර අහසින්ම ගියේය. ඒ මග ගස් ද පඳුරු ද කුළුගෙය දෙසට නැමී ගියහ. “ඛුජ්ජතිස්සතෙර පිරිනිවියේය, කුළුගෙය අහසින් එන්නේය”යි රජුට දැනුම්දුන් නමුත් රජ ඒ කීම විශ්වාස නොකෙළේය. කුළුගෙය ථූපාරාමය වටේ කැරකී ශෛලචෛත්‍යය සමීපයට පැමිණිවිට ඒ සෑය පිහිටි භූමියත් සමඟ උඩට නැගී කුළුගෙයට උඩින් සිටියේය. මහාජනයාගෙන් දහස් ගණන් සාධුනාදයන් නික්මුණු විට ලෝමහපායේ සත්වෙනි මාලයෙහි විනයකර්‍මයක් කරමින් වැඩහුන් මහාව්‍යග්ඝ නම් තෙරනම ඒ ශබ්දය කුමක්දැයි විචාරා මේ සිද්ධිය දැන “පින්වතුන් නිසා මමත් සත්කාර ලබන්නෙමි”යි කියා අතවැසියන් සමාකරවාගෙන අහසින් ගොස් කුළුගෙට ඇතුල්ව දෙවෙනි ඇඳෙහි හෙවැ පිරිනිවියේය. රජතෙමේ මල් සුවඳ ආදිය ගෙනගොස් අහසෙහි තිබුණු කුළුගෙය දැක එයට පූජා කෙළේය. එවිට කුළුගෙය බිමට පාත්විය. රජ මහාසත්කාරයෙන් දෙනමගේ ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් බැන්දවීය. (මෙය අංගුත්තර අටුවාහි තිකනිපාත වණ්ණනා (385) වෙහි පෙනේ.)

ලොකප්පදීපකසාර නම් පාලිග්‍ර‍න්ථයෙහිත් මේ කථාව පෙනේ. එහි එතුමාගේ නම පෙනෙන්නේ කුණ්ඩලතිස්ස යන්නෙනි. කථාපුවතෙහිත් ඇතැම් වෙනස් පෙනෙන බැවින් එහි තිබෙන සැටියෙන් ද මේ කථාව දක්වනු ලැබේ :- සද්ධාතිස්ස මහරජ වරක් මහාසංඝයාට දන් දී “ස්වාමීනි, ඔබ සියලු දෙනා වහන්සේගේ සම්මතයෙන් මට අවවාද කිරීමට යෝග්‍ය තෙරනමක් ගැන දැනුම් දුන මැනවැ”යි ඉල්ලා සිටියේය. එවිට සංඝතෙමේ “මහරජ, මෙයින් සිවුයොදුන් පමණ තැන අරණ්‍යවාසී වූ කුණ්ඩලතිස්ස නම් තෙරනමක් ඇත. ඒ තෙරනම ඔබට අවවාද දීමට සමර්‍ථ ය යි කීය. රජ තෙම ඊට පසුදා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන තෙරුන් දැකීම සඳහා ඒ ප්‍රදේශයට ගොස් සේනාව ටිකක් දුරින් නවතා තෙමේ තනිවම තෙරුන් දැකීමට පයින් ගියේය. තෙරනම රජුගේ ඒම දැනගෙන “රජු හා විශ්වාසය ඇති කිරීමෙන් මට පලක් නැතැ”යි සිතා තමාගේ විහාරය නො උස්තැනක් කොට මවාගෙන විහාරය ඇතුළට වී දොර වසාගෙන ද්වත්තිංසාකාරය පොළොවෙහි ලියමින් හුන්නේ ය. රජ තෙම දොරලඟට අවුත් යතුරු කඩොල්ලෙන් ඇතුළත බලා බිම අකුරු ලියමින් උන් තෙරුන් දැක මේතෙම මට අවවාද දීමට සුදුස්සෙක් නොවේයයි සිතා නොවැඳම හැරී ගියේ ය. මෙයින් කලකට පසු නැවතත් රජතුමා සංඝයාගෙන් විචාළ විට සංඝතෙමේ නැවතත් ඒ තෙරුන්ගේ නමම කීය. රජ දෙවෙනි වරත් එහි ගිය නමුත් තෙරුන් පෙරසේ ම ක්‍රියා කළ බැවින් කලකිරී හැරී ගියේ ය.

කලකට පසු ඒ තෙරුන්ට රෝගයක් උපණි. තමාගේ ආයුසංස්කාරය පිරිහී ගියබව දත් තෙරනම “සද්ධාතිස්ස රජ මා කෙරෙහි කලකිරී පව් පුරවා ගන්නේ ය. එබැවින් ඔහුගේ කලකිරීම දුරු කිරීම සඳහා අධිෂ්ඨානයක් කළ යුතුය” යි සිතා මෙසේ අධිෂ්ඨාන කෙළේය: “මාගේ සිරුර කුළුගෙයක තබා ආදාහන කිරීම පිණිස පූජාව පවත්වන කල්හි ඒ සිරුර සහිත කුළුගෙය මිනිසුන්ගේ අතින් මිදී අහසින් රජ ගෙට ගොස් රජු විසින් වැඳිකල්හි එතැනින් ගොස් මාගේ මිත්‍ර‍ වූ මහාව්‍යග්ඝ තෙරුන් සමීපයට පැමිණ අහසෙහි සිටීවා. එකල්හි ශෛල චෛත්‍යය තිබුණු තැනින් ඉවත් වේවා. ඉක්බිති සහාය තෙරුන්ගේ කුළුගෙය සමග මාගේ කුළුගෙය අහසින් ගොස් දරසෑයෙහි පිහිටි විට චෛත්‍යය යථාස්ථානයෙහිම පිහිටාවා” මෙසේ අදිටන් කොට එතුමන් පිරිනිවිකල්හි මහජනයා රැස්ව මහත් පූජාවිධානයෙන් එතුමාගේ සිරුර පෙට්ටියක බහා කුළුගෙයක තබා සෑය ළඟට ගෙන ගියහ. සෑයළඟ තැබූ කුළුගෙය නැවත සොලවන්ට නොහැකිවිය. එය අහසට නැගී රජගෙය ඉදිරියට ගොස් අහසෙහි සිටියේය. ඉක්බිති සද්ධාතිස්ස මහරජ අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා ගෙන රජගෙයින් නික්ම වැඳපුදා “ස්වාමීනි, ඔබ ජීවමානකල මට කරුණා නොකළහ. විද්‍යාමාන ගුණය වසා මට අන්‍යථාත්‍වයක් ඇති කළහ. දැන් මා කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩිසේක. මට සමාවුවමැනවැ”යි කීය. ඉක්බිති ඒ කුළුගෙය එතැනින් ඉවත්ව මහාව්‍යග්ඝතෙරුන්ගේ වාසස්ථානයට ගියේය. රජ ද එය පසු පස්සේ ගියේය. එකල්හි මහාව්‍යග්ඝ ස්ථවිරතුමා ලෝහප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට ධර්‍මය උගන්වමින් සිටියේ මේ මහත්ඝෝෂණය කුමක්දැයි විචාරා ඔබගේ මිත්‍ර‍ වූ කුණ්ඩලතිස්ස තෙරනම පිරිනිවියේ ඔබ වෙත පැමිණියේ ය. මහරජ ද පැමිණියේ ය” යි කියන ලද්දේ තමාගේ ආයුසංස්කාරයත් එදවස්හිම ගෙවී යන බව දැක කළ පිනැත්තන් ආශ්‍ර‍ය කොට සත්කාර ලබන්නෙමි”යි කියා අතවැස්සන් සමාකරවාගෙන අහසට නැග ඒ කුළුගෙට ඇතුල්වී පිරිනිවියේ ය. ඉන්පසු ඒ තෙර දෙනමගේ කුළුගෙවල් දෙක සෑය මත්තෙහි පිහිටි විට ගිනි කඳන් නැඟී ඒවා දැවූහ. මෙයින් කුණ්ඩලතිස්ස තෙරනම පෙර දඹදිව අධිරාජව සිටි අශෝක රාජ තෙමේය. මහාව්‍යග්ඝ ස්ථවිරතුමා මහානාම (ශාක්‍ය) රාජවිය. සීහලවත්‍ථු නම් ග්‍ර‍න්ථයෙහි මෙසේ කී බැවින් මා විසින් මෙය උපුටා ගන්නා ලදි.

මේ ලෝකප්පදීපකසාර නම් ග්‍ර‍න්ථය වනාහි බුරුම රට සිරිරතන නුවර “සෙතකුඤ්ජරාධිපති” මහරජුගේ මාතෘදේවිය වූ සුසද්ධා නමැත්තිය කරවූ ස්වර්ණාලිප්ත මහා විහාරයෙහි විසූ මේධංකර නමැති සංඝරාජ තෙරුන් විසින් ලියන ලද්දකි. එතුමා ලාංකික භික්‍ෂු වංශයකට අයත් වූ බව සීහළදීපෙ අරඤ්ඤවාසීනං පසත්‍ථ මහාථෙරානං වංසාලංකාර භූතේන” යන නිගමන වාක්‍යාංශයෙන් පෙනේ. එය කළ වර්‍ෂය පොතේ සඳහන් ව නැත. මෙතුමා ලක්දිවට අවුත් වනවාසී සංඝයාගෙන් උපසම්පදාව ලබාගත්තා වූද මුත්තිමනුවර සෙතිභින්‍ද රජුගේ මෑණියන්ගේ ආචාර්‍ය්‍යවරයායි ද බුරුම ශාසන වංශයෙහි කියවේ. සුණ්ණසොභතෙරුන් මෙහි එන්නට ටික කලකට පෙර මෙතුමා ලක්දිවට ආයේය. ක්‍රි.ව. 1429 දී සිරිසද්ධම්මාලංකාර, සීහලමහාසාමි යන තෙර දෙනමක් සර්‍වඥධාතු ද රැගෙන ලක්දිවින් ගොස් කුසීම (බැසින්) තොටට ගොඩබටහ. මෙකල්හි රාමඤ්ඤරටේ රජ වූ බ්‍යඤ්ඤා රජ ඒ දෙනම තම රටේ නැවතීම ගැන විරුද්ධ වූ බැවින් ඒ දෙනම බුරුම රටේ සිරිඛෙත්ත නුවරට ගිය විට එහි රජතුමා ඒ දෙනම සාදරයෙන් පිළිගෙන සංග්‍ර‍හ කෙළේය. ඒ දෙනම විසින් එහි බුදුසසුන වඩන ලදී. මෙසේ සිංහල භික්‍ෂුවංශයක් රත්නපුරයෙහි ඇති වූ බව බුරුම සාසනවංසයෙන් පෙනේ.

“සීහළවත්‍ථු” නම් පොතක් ගැන ද මෙහි සඳහන් වේ. බුරුම පුස්කොළ පොත් අතරේ මේ නම පෙනෙතත් එය ලක්දිව ඇති බවක් දැනගන්ට නැත. “සහස්සවත්‍ථුප්පකරණ” නම් පොතද අභාවප්‍රාප්ත වී යයි බොහෝ දෙනා සිතා සිටි නමුත් දැන් එය සොයා ගෙන තිබේ. මේ සීහළවත්‍ථු නම දී තිබෙන්නේ සහස්සවත්‍ථුවටම ද යන්න සෙවිය යුත්තකි. මේ දෙකෙහිම ලක්දිව සිදු වූ කථාප්‍ර‍වෘත්ති ඇතුළත් බැවින් මේ පොත් සොයා ගැනීම ඓතිහාසික ප්‍ර‍වෘත්ති දැනගනු කැමැත්තන්ට මහත් ප්‍රයෝජන පිණිස පවත්නේ ය.

ජාතක අටුවාවේ මූගපක්‍ඛ (=තෙමිය) ජාතක වර්‍ණනාවෙහි මේ තෙරුන්ගේ නම පෙනෙන්නේ “මංගණවාසී ඛුද්දකතිස්සත්‍ථෙරො” වශයෙනි. මහාවංශයේ 32 වෙනි පරිච්ඡේදයෙහි තිබෙන්නේ “මංගණවාසිකො ඛුද්දතිස්සත්‍ථෙරො” වශයෙනි. “කුඩාතිස්ස තෙරනම” යන අර්‍ථය එයින් ලැබේ. “ඛුද්ද” යන්නෙන් “කුඩා” යන තේරුම ලැබෙන අතර ‘ඛුජ්ජ’ යන්නෙන් “කුදු” යන තේරුම ලැබේ. නමුත් “ඛුද්ද” වෙනුවට ඇතැම් තැනක “ඛුජ්ජ” යන්න ලියවී තිබේ. ථෙරගාථාවන්හි පෙනෙන “ඛුජ්ජසොභිත” යන්න එයට නිදර්‍ශනයකි.

මූගපක්ඛජාතක අටුවාවෙහි වනාහි මුන්වහන්සේ හා මෙහි නම් දැක්වෙන තවත් මහතෙරුන් කීප නමක් සම්බන්ධයෙන් අද්භූත ප්‍ර‍වෘත්තියක් කියා තිබේ. එය නම් “මේ ඛුද්දතිස්ස තෙර ද මහාවංසකතෙර ද කටකන්‍ධකාර (?) වාසී ඵුස්සදේවතෙර ද උපරිමණ්ඩලමාලවාසී මහාරක්‍ඛිතතෙර ද, භග්ගරිවාසී මහාතිස්ස තෙර ද වාමත්ත (ගාමන්ත?) පබ්භාරවාසී මහසීවතෙර ද කාළවේලවාසී මහාමලියදේවතෙර ද යන මේ තෙරවරු අයෝඝර සමාගමයේ දී ද හත්‍ථිපාලසමාගමයේ දී ද කුද්දාලකසමාගමයේ දී ද මූගපක්‍ඛසමාගමයේ දී ද (හෙවත් ඒ ජාතකයන්හි කියවෙන පැවිදිවීම්වල දී) සියල්ලන්ට පසුව පැමිණියෝයයි කියත්” යන්නයි. මද්ධවාසී මහානාගතෙර ද මලියමහාදේවතෙර ද පිරිනිවෙන දිනයේ දී රැස් වූ සංඝයා අමතා “ඇවැත්නි මූගපක්‍ඛජාතකයේ පිරිස අද අවසන් වීය” යි කීහ. “ස්වාමීනි, කුමන කරුණක් නිසා දැ” යි ඇසූ විට “ඇවැත්නි, මම එදා රා සොඬෙක් වීමි, මා හා මත් පැන් බීමට අනිකකු නො ලැබ මම සියල්ලන්ට පසුව ගොස් පැවිදි වීමි”යි ඒ තෙර දෙනම වෙන් වශයෙන් කීහයි ද ඒ ජාතක වර්‍ණනාවේම දැක්වේ.

මේ කථාවේ ඇතුළත් වූ මහාව්‍යග්ඝ තෙරුන්ගේ නාමය මහා වංශයේ 32 වෙනි පරිච්ඡේදයෙහි පෙනේ. දුටුගැමුණු රජ කුමාර කාලයේ දී ඇති වූ “බුළුකෑසාය” පවත්නා කල්හි දුන් ඇඹුල්තණ බත පිළිගත් තෙරුන්ගෙන් එක් නමක් මහාබ්‍යග්ඝ තෙරයයි එහි කියවේ.