57. කෝරණක විහාරවාසී මහතෙර

කෝරණක විහාරවාසී මහතෙරුන්ගේ සොහොයුරියකගේ පුතෙක් පැවිදිවී ඉගෙනීම පිණිස රුහුණට ගියේය. අවුරුදු බොහෝ ගණනක් ගත වූ පසු පුතණුවන් දකිනු කැමති මෑණියන්ගේ ඉල්ලීම් ලෙස තෙරණුවෝ භික්‍ෂුනම කැඳවාගෙන ඒම පිණිස රුහුණටයන්ට පිටත්වූහ. භික්‍ෂුනමද ඒ කාලයේදී ම ගමට යනු සඳහා රුහුණෙන් පිටත්ව ආවේය. මේ ගුරු ශිෂ්‍ය දෙනම මාවැලිගඟ අසළ දී මුණ ගැසුණාහ. භික්‍ෂුනම ගසක් මුල වැඩහුන් තෙරුන්ට වැන්දවිට තෙරනම තොරතුරු විචාරා “තාගේ මව නිතර තොරතුරු විචාරයි. තෝ ගමට යව; මම මෙහිම වස්වසන්නෙමි”යි කියා ශිෂ්‍යයා ගමට පිටත් කෙළේය. භික්‍ෂුනම වස් එළඹෙන දිනයේදී ස්වකීය විහාරයට පැමිණියේ ය. ඔහුගේ පියා සෑද වූ ලැගුම් ගෙයම ඔහුට වස් විසීම පිණිස ලැබුණි. වස් එළඹෙන අවස්ථාවෙහි දායකයා අවුත් “මාගේ ලැගුම් ගෙයි වස්වසන්නේ කවරෙක්දැ”යි විචාළේය. “ආගන්තුක භික්‍ෂුනමකැ”යි ප්‍ර‍ධාන තෙරුන් කීවිට දායකයා ඒ ආගන්තුකනම වෙත ගොස් “මේ ගෙයි වස්වසන්නන් වස් කාලය තුල මාගේ ගෙයි දන් වැලඳිය යුතුය; වස්අවසන්හි යන විට දැනුම් දී යා යුතුය”යි කීය. උපාසිකාව ද ප්‍ර‍ණීතාහාරපාන සපයා ගෙට පැමිණි ඒ භික්‍ෂුවට වැලඳවීය. ගෙයි වැසි කිසිවකුට ඒ තමන් ගේ ඥාතික්‍ෂූවය යි දැනගත නොහැකි විය. වස් අවසන් වී ඔහු යන බව දැන් වූ විට ගෙයිවැසියෝ තෙල්ගුළාව පුරවා දී නවරියන් වස්ත්‍ර‍යක් ද උක්සකුරු පිඬක් ද පූජා කළහ. අනුමෝදනා බණ කියා ඉන් පිටත්ව රුහුණ දෙසට යන භික්‍ෂුනමට හැරී එන ආචාර්‍ය්‍යවරයා මුල්වර හමු වූ තැනදීම හමුවිය. “උපාසිකාව දැක්කෙහිදැ”යි තෙරුන් විචාළ විට සියලු ප්‍ර‍වෘත්ති කියා තෙරුන්ගේ පාවල තෙල්ගල්වා උක්සකුරු වලින් පානයක් සාදා දී ඒ වස්ත්‍ර‍ය ද තෙරුන්ට පුදා “මට රුහුණු රටම යෝග්‍යය”යි කියා අවසර ගෙන ගියේය. තෙරනම ස්වකීය විහාරයට ගොස් පසුදා කෝරණක ගමට ඇතුල් විය. උපාසිකාව තෙරනම පුත්‍ර‍ භික්ෂුව කැඳවා ගෙන අද එයි, හෙට එයි යයි සිතමින් මග බල බලා හුන්නී තෙරුන් තනිව එනු දැක “එකාන්තයෙන් මාගේ පුත්‍ර‍යා මළා විය යුතුය”යි සිතා හඬන්ට පටන් ගති. තෙරනම කරුණු විචාරා උපාසිකාව සනසා ඔවුන් දුන් වස්ත්‍ර‍ය පෙන්වා ඔවුන්ගේ ලැගුම්ගෙයි වස්විසූ භික්‍ෂුනම ඇගේ පුත්‍ර‍යාය යි කීය. උපාසිකාව පුත්‍ර‍යාගේ අල්පේච්ඡතාවෙහි පැහැද පුත්‍ර‍යා ගිය දෙසට අභිමුඛව මුනින් වැටී වඳිමින් “භාග්‍යවතුන් වහන්සේ රථවිනීත පටිපදාවත් නාළක පටිපදාවත් තුවටක පටිපදාවත් චතුපච්චයසන්තොස - භාවනාරාමතාව දක්වන මහා අරියවංසපටිපදාවත් දෙසුවේ මාගේ පුත්‍ර‍යා වැනි භික්‍ෂූන් නිමිති කොට ගෙනය. වැදු මවගේ ගෙයි තුන්මසක් අනුභව කරන්නේ “මම පුතා වෙමි, ඔබ මෑණියෝ වෙති” යන්න පමණවත් නොකීවේය”යි කීය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණනිද්දෙසයෙහි දසපලිබෝධ කථාවෙහි එයි.)