43. සිවුරළුවකුගේ වචන ඇසීමෙන් රහත් වූ තිස් නමක්

තිස් නමක් පමණ භික්‍ෂූහු කැලණියේ මහසෑය වැඳ කැලෑ මගකින් ගොස් මහ මගට බසින්නාහු අතරමග ගිනිතැබූ කුඹුරක වැඩකොට එන එක් මිනිසකු දුටුවාහ. ඔහුගේ සිරුර හැම තැනම දැලි තැවරී තිබුණි. දැලි වැකුණු වස්ත්‍ර‍යක් ඉණවටේ ඔතා තිබුණි. දාගිය කණුවක් මෙන් පෙනෙන හෙතෙම දාවල්හි වැඩකෙට අඩක් දා ගිය දරමිටියක් බැඳ ඔසවාගෙන පිටෙහි විසිරී හිසකෙස් ඇතිව අතුරු මගකින් අවුත් ඒ භික්‍ෂූන් ඉදිරියේ දී මගට බැස්සේ ය. සාමණේරවරු ඔහු දැක “මේ ඔබගේ තාත්තාය, ඔබගේ බාප්පාය, ඔබගේ මහප්පාය” යනාදිය කියමින් එකිනෙකාට කෙළිකවට වචන කියා “උපාසකය, ඔබගේ නම කුමක්දැ”යි ඇසූහ. එවිට හෙතෙම සංවේගයට පත්ව දරමිටිය බිමතබා රෙද්ද සකසා ඇඳගෙන මහතෙරවරුන්ට වැඳ “ස්වාමීනි, නැවතුනමැනවැ”යි කීය. මහතෙරවරු නැවතුණාහ. සාමණේරවරු අවුත් තෙරුන් ඉදිරියේ දී ද ඔහුට කවටකම් කළහ. උපාසකයා මෙසේ කීය:- “ස්වාමිවරුනි, ඔබ වහන්සේ මා දැක පරිහාස කරන්නාහ. මෙපමණකින් ඔබවහන්සේ සම්පූර්‍ණත්‍වයට පැමිණියාහු නො වෙත්. මමත් පෙර ඔබ වැනි ශ්‍ර‍මණයෙක් වීමි. ඔබවහන්සේට සිත එකඟ කිරීම් පමණකුත් නැත. මම වනාහි මහර්ධි ඇත්තෙක් වීමි; අහස පොළොව කෙළෙමි. පොළොව අහස කෙළෙමි. ළඟ තැන දුර කෙළෙමි; ක්‍ෂණයකින් සක්වළ දහසක් විනිවිද ගියෙමි. දැන් වඳුරන්ගේ අත්මෙන් පෙනෙන මේ අත් වලින් පෙර මම චන්‍ද්‍ර‍- සූර්‍ය්‍යයන් ස්පර්‍ශ කෙළෙමි. ඒවා මාගේ මා පුටුකොට හුන්නෙමි. එවැනි වූ ඒ මාගේ සෘද්ධිය ප්‍ර‍මාදය නිසා විනාශ විය. ප්‍ර‍මාදය නිසා අන්‍යයෝ ත් මෙවැනි ව්‍යසනයට පත් වෙති. මා අරමුණු කොට අප්‍ර‍මාදී වෙත්වා”යි අවවාද කෙළේය. ඔහුගේ කථාව අසමින් සිටියදීම සංවේගයටපත් තිස් නමක් විදසුන් වඩා රහත් වූහ. (මෙයද විභංගඅටුවාහි සම්මප්පධාන විභංගවණ්ණාවෙහි එයි.)