විනය අටුවා හි අනියතවණ්ණනාවෙහි මේ කථාව පෙනේ:- මල්ලාරාම විහාරයෙහි එක් රහත් තෙරනමක් උපස්ථායක ගෙයකට ගොස් ගෙය තුළ වැඩහුන් කල්හි ගෘහණිය නිදන ඇඳක් අසළ සිටියාය. පිඬුපිණිස පැමිණි අන්‍යභික්‍ෂුනමක් දොර අසළ සිටියේ තෙරනම උපාසිකාව සමග එක් ආසනයේ වාඩි වී හිඳිනේය යි පෙනෙන සැටියෙන් සිතා ගත්තේ ය. නැවත නැවතත් බලා ඒ හැඟීම ඇතිවම ඒ භික්‍ෂුනම හැරී ගියේය. තෙරනමද ඒ භික්‍ෂුනම තමා ගැන වැරදි හැඟීමක් ඇතිකර ගත් බව දැන විහාරයට ගොස් තමාගේ කාමරයට ඇතුල්ව හුන්නේ ය. ඒ භික්‍ෂුනම තෙරුන්ට චෝදනාකරන්නෙමි යි අවුත් කාරා දොර හැරි විට තෙරනම ඔහුගේ අදහස දැන අහසට නැගී මුදුන් වහල අසළ පලඟබැඳ වැඩහුන්නේ ය. භික්‍ෂුනම ඇතුළට අවුත් ඇඳ උඩත් යටත් බලා නො දැක උඩ බලා අහසෙහි ඉන්නා තෙරුන් දැක “මෙවැනි සෘද්ධි ඇති ඔබ මාගමක් සමඟ එක් අස්නක හුන්නාහු නොවෙත් දැ”යි විචාළේ ය. “ඇවත, එය වනාහි ගෙවල් තුළට පිවිසීමේ දෝෂය යි; ඔබට මාගේ නිදොස් බව අවබෝධ කරවීමට මෙසේ කරමි”යි කියා තෙරනම බිමට බැස්සේය.
මැඳුම්සඟි අටුවාහි වීමංසකසුත්තවණ්ණනා (537) වෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ලෙස පෙනේ:- එහි විහාරයේ නම “මුලුප්පල වාපි විහාර”යයි පෙනේ. ඒ විහාරවාසී තෙරනමක් දිනක් මුලුප්පලවාපිගමට පිඬු පිණිස ගිය විට එක් උපස්ථායක ගෙදරකදී එතුමන්ගේ පාත්‍රය රැගෙන ගෙමැද මැටියෙන් උස්කොට තනා තිබෙන (ථණ්ඩිලපීඨිකා) ආසනයට ඉදිරියෙන් අස්නක් පනවා තෙරුන් වාඩි කළහ. ඒ ගෙදර ඇමති දුවක් ද ඒ ථණ්ඩිලපීඨකාවට එහාපැත්තේ මිටි අස්නක හුන්නීය. තවත් භික්‍ෂුනමක් පසුව එහි පැමිණියේ දොරකඩ සිට ගෙයතුළ බලන්නේ තෙරනම ඇමතිදුව හා එක් ආසනයක හුන්නේය යි සිතාගත්තේ ය. “මේ පංසුකූලිකයා විහාරයේ දී සන්හුන් අයෙක් සේ හැසිරෙයි, ගම ඇතුළේ දී උපස්ථායිකාව හා එක් ආසනයෙහි හිඳී” යයි කල්පනා කළ ඒ භික්‍ෂුනම නැවතත් විමසාබලා ඒ අදහස ඇතුව ම හැරී ගියේය. ඉක්බිති විහාරයට ගොස් දන්වළඳා අවසන් හි “මේ පංසුකූලික භික්‍ෂුවට චෝදනා කොට විහාරයෙන් නෙරපන්නෙමි”යි සිතා ඒ නේවාසික භික්‍ෂුනම රහත් තෙරුන් වසන ගෙට ගොස් නොහික්මුණු ආකාරයෙන් එතැන තිබුණු පැන් භාජනයෙහි කිනිස්ස සපමින් පැන් රැගෙන පා සේදුවේය. ඇතුලේ උන් තෙරනම මේ නොහික්මුණු පුද්ගලයා කවරෙක් දැයි මනැසින් බලන්නේ හැම කරුණු දැක “මේ පුද්ගලයා මා කෙරෙහි සිත දූෂ්‍ය කොට අපායෙහි නො උපදීවා”යි සිතා අහසට නැඟ කැණිමඩුල්ල සමීපයෙහි පලඟබැඳ හුන්නේ ය. නේවාසික භික්‍ෂුනම නො සැලකිල්ලෙන් අගුල ඔසවා දොරහැර ඇතුළත බලන්නේ තෙරුන් නොදැක පිටතට එන්ට සැරසුණි. එකෙණෙහි තෙරනම කෑරුවේ ය. අනිකා උඩබලා තෙරුන් දැක නොඉවසිල්ලෙන් යුක්තව “ඇවැත් පංසුකූලිකය, මෙසේ ආනුභාව සම්පන්නා වූ ඔබට උපස්ථායිකාව සමග එක ඇඳේ ඉන්ට සුදුසුදැ”යි ඇසීය. එවිට තෙරනම “ස්වාමීනි, ස්ත්‍රීන් හා එක් ආසනයේ හිඳීම පැවිද්දන්ට සුදුසු නැත. ඔබ විසින් වැරදි ආකාරයකින් දක්නා ලද්දේ”යි කීය.