(බු:ව: 440 - 480 පමණේදී.)
විනයධර උපතිස්ස තෙරුන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ මෙතුමා විනය පිටකයෙහි කෙතරම් ප්‍රකට ආචාර්‍ය්‍යවරයෙක්ව සිටියේ ද යන්න විනය අටුවාවේ විසිතුන් පලක එතුමාගේ නම සඳහන් කිරීමෙන් ඔප්පු වේ. මෙතුමා 18 වරක් විනය පිටකය අස්වාගත් බව උපතිස්ස මහතෙරුන්ගේ ප්‍රවෘත්තියෙහි කියන ලදි. මෙතුමාගේ සොහොයුරු මහාසුම්මතෙර නවවරක් විනය අස්වාගෙන ගඟෙන් එගොඩ (හෙවත් මාවැලිගඟෙන් දකුණු දෙසට) ගියේ ය. මහාපදුමතෙර ඒ ගැන නොසතුටුව ගුරුවරයා ජීවත්ව සිටියදී එසේ යාම ගැන මහාසුම්මතෙරුන්ට දොස් නැඟීය.
උත්තර නම් රජකුමරා රන්කරඬුවක් සාදා මහාපදුම තෙරුන්ට යැවීය. ස්ථවිරතුමා එය නො කැපයයි ප්‍රතික්‍ෂේප කෙළේ යයි විනය අටුවාවේ තෙරසකවණ්ණනාවෙහි (299) කියවේ. මේ උත්තර රාජකුමාරයා වනාහි මහාචූළික රජුගේ වෛමාතෘක සහෝදරිය වූ සුමනාදේවියගේ පුත්‍රයකැයි මහාවංශටීකාවෙහි කියන ලදි. සුමනාදේවියට තිස්ස - අභය - උත්තර යන පුත්‍රයෝ තිදෙනෙක් වූහ. ඔවුනතුරෙන් අභය - උත්තර දෙදෙන මහසිළු මහරජු නගරය තුළ දී මැරීමට කුමන්ත්‍රණයක් කළහ. ඒ කුමන්ත්‍රණය හෙළි වූ නිසා අනුන් අතින් මියයාමට වඩා තමන්ම මියයාම යෙහෙකැයි සිතූ ඒ කුමාරවරු ගිරිනිගණ්ඨයාගේ ආරාමය අසළ දැන් අභයගිරිසෑය තිබෙන තැන, දරසෑයක් කරවා ගිනි දල්වා ඒ දර සෑයට පැන මළහ. ඔවුන් ගේ නෑයෝ (79 පිට) පසුකලක එතැන චෛත්‍යයක් බැන්දවූහයි මහාවංශ ටීකාවේ 34 වෙනි පරිච්ඡේද වර්‍ණනාවෙහි කියවේ. මේ චෛත්‍යයට අභයුත්තර නාමය ලැබී තිබෙන්නේ මේ හේතුවෙනි. පරණ පොත්වල බොහෝ සේ මේ චෛත්‍යයටත් විහාරයටත් “අභයුත්තර චේතිය, අභයුත්තර විහාර” යන නම ව්‍යවහාරකොට තිබේ.
නමුත් මහාවංශයෙහි කියවෙන්නේ වට්ටගාමිණීඅභය රජුගේ අභය නාමයත් ගිරිනිගණ්ඨයාගේ නාමයත් එක්කොට අභයගිරි නාමය ඒ විහාරයට තැබූ බවයි. වළගම්බාරජු ගිරිනිගණ්ඨයාගේ ආරාමය වනසා එතැන සංඝාරාමයක් පිහිටෙව්වේ ය. ඒ රජු විසින් එහි පිරිවෙන් (හෙවත් ලැගුම් ගෙවල්) 12 ක් පිහිටු වන ලදැයි කියවෙන පමණ මුත් එහි චෛත්‍යයක් ගොඩනැංවූ බවක් මහාවංශයෙහි නොකියවේ. එබැවින් විහාරය අභයගිරි යයි ද ඉන් පසුකලක ඒ අසළ කරවනු ලැබූ චෛත්‍යය අභයුත්තර සෑය යයි ද දෙකක් සේ ගණන්ගත යුතුය. පසුකලක ඒ සෑය අභයගිරි විහාරයට ආසන්න බැවින් ඊට අයත් චෛත්‍යය ලෙස ගණන් ගෙන විහාරයටත් ඇතැම්විට අභයුත්තර විහාරය යි ව්‍යවහාර කරනලදැයි සැලකීම වටී. මේ ආරාමයට අභය නාමය නැතිව උත්තරවිහාර යයි නම් කොට තිබෙන බව ද මහාවංශ ටීකාවෙන් පෙනේ.
විනය අටුවාහි තතියපාරාජික වණ්ණනාවෙහි (257) මේ ප්‍රවෘත්තිය පෙනේ:- “වසභරජුගේ දේවියට රෝගයක් වැලඳුණු විට එක් ස්ත්‍රියක් මහාපදුම තෙරුන් වෙත ගොස් ඊට බෙහෙත් විචාළ කල්හි තෙරණුවෝ ඈට බෙහෙත් නොකියා මේ රෝගය අසුවල් බෙහෙත්වලින් සුවවන්නේ යයි භික්‍ෂූන්ට කීය. ඒ කථාව අසා සිටි ස්ත්‍රිය ඒ බෙහෙත් කරවීමෙන් දේවියගේ රෝගය සුවපත් විය. ඉන්පසු තුන්සිවුරු ද කහවණු තුන්සියයක් සමඟ බෙහෙත් කරඬුවක් ද ගෙනවුත් තෙරුනගේ පාමුල තබා “ස්වාමීනි, මෙයින් මල් පිදුව මැනවැ”යි කීවිට තෙරනම එය ප්‍රතික්‍ෂේප නො කොට ගුරුපඬුරු වශයෙන් ගෙන මල් පූජාවක් කරවීය. මෙහි කිසිම විශේෂයක් නොකොට “මහාපදුමත්‍ථෙරොපිකිර” ආදි වශයෙන් පටන්ගෙන මේ ප්‍රවෘත්තිය කීමෙන් මෙතුමා උඩ නම දැක් වූ මහාපදුමතෙර නමම යයි වැටහෙන නමුත් වසභ රජු බු:ව: 609 සිට 650 දක්වා රාජ්‍යය කළ බැවින් මේ කියවෙන්නේ මුලින් කී උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය වූ මහාපදුමතෙර විය නොහැක. එතුමා වැඩසිටියේ වලගම්බා කාලයේ දී හා ඔහුට අනතුරුව රාජ්‍යයට පැමිණි මහසිළුමහතිස් රජුගේ කාලයේ දී ය. එය බුද්ධවර්‍ෂ 440 - 480 පමණේ දී විය යුතුය.