(බු.ව. 440 - 467 පමණ)
චූලසීව තෙරුන්ගේ පුවතෙහි දැක් වූ මහාභය පිළිබඳව අංගුත්තර ඒකනිපාත අටුවාහි (52) මේ ප්‍රවෘත්තිය පෙනේ:- මේ ද්වීපයෙහි චණ්ඩාලතීය භය ඇති වූ විට සක්දෙව් රජ මහපහුරක් මවා භික්‍ෂූන්ට මෙසේ දැක්විය:- “ස්වාමිවරුනි, මහත් භයක් ඇති වන්නේ ය; වැසි නොවසින්නේ ය. පරතෙරට ගොස් ඔබගේ ජීවිතයන් රැක ගැනීම වටී, මේ මහපහුරට නැගී වඩිනු මැනවි. යම් කෙනෙකුන්ට මෙහි නගින්ට අවකාශයක් නොලැබේ නම් ඔවුන් ලී කැබෙල්ලකවත් පපුව තබාගෙන එතරට යනු මැනවි. කිසිවකුට අනතුරක් නොවන්නේ ය”යි එකල්හි මූදු වෙරළට රැස් වූ භික්‍ෂූන් අතරෙන් සැටනමක් “අපි පරතෙර නොගොස් මෙහිම රැඳී සිටගෙන ධර්‍මය රකින්නෙමු”යි කතිකා කොට ගෙන දකුණු මලයප්‍රදේශයට ගොස් අල - මුල් කොළවලින් ජීවිකාව කරමින් වසන්නාහු ශරීරය කෙළින් තබා ගෙන සිටින හැකිතාක් එක් තැනක වාඩි වී ධර්‍මය පිරිවැහූ හ. කෙළින් ඉන්ට නොහැකි වූ විට වැලි ගොඩක් ගසා ඒ වැලි ගොඩ උඩ හිස් එක්තැන් කොට තබාගෙන පර්‍ය්‍යාප්තිය පාඩම් කීය. මේ ක්‍රමයෙන් මේ භික්‍ෂූහු දොළොස් අවුරුද්දක් මුළුල්ලේ අටුවා සහිත ත්‍රිපිටක ධර්‍මය අඩු නොකොට රැකගත්හ. පිටරට ගිය භික්‍ෂූන් අතරෙන් සත්සිය නමක් ද ත්‍රිපිටක ධර්‍මය කටපාඩමෙන් රැකගෙන සිට භය සංසිඳුණු පසු මෙහි අවුත් කල්ලගාම (=කෑගල්ල) දනව්වෙහි මණ්ඩලාරාම (=වට්ටාරම) විහාරයට පැමිණියහ. ඒ තෙරුන් පැමිණි බව අසා ලක්දිව සිටි යථොක්ත සැටනම එහි පැමිණ ඒ තෙරවරුන් හා සසඳා බලන්නාහු එක් අකුරකවත් වෙනසක් නොදැක්කාහ.
මේ කාලයෙදීම චූලසීව - ඉසිදත්ත - මහාසෝණ යන මහා ස්ථවිර තුන්නම පිටරට නොගොස් රැඳුණු බව චූලසිව තෙරුන්ගේ ප්‍රවෘත්තියෙහි දක්වන ලදි. චූලසීව තෙරුන් ඉතිරි දෙනමගෙන් වෙන්ව අනුරාධපුරය දෙසට ගිය පසු ඉසිදත්ත - මහාසෝණ දෙනම ක්‍රමයෙන් අළජනපදයට ද චොරියස්සරය (=සේරුවිල) ට ද ගියහ. අළදනව්වේ දී ඇට ගෙන ඉවත දැමූ මී පොතු වළඳා සත්දිනක් ගතකළහ. සේරුවිලදී මානෙල් මල් කඩාගත් මිනිසුන් ඉවත දමාගිය මානෙල් දඬු රැගෙන වළඳා එයින් සත්දිනක් ගත කළහ. ඉන්පසු කොළ කා ජීවත්වන මිනිසුන් වසන ගමකට පැමිණියහ. එගම එක් ගෙයක මවුපියෝ “භික්‍ෂු නමක් පැමිණියහොත් ඉවත යන්ට ඉඩ නොදෙව”යි දුවණියන්ට කියා වනයට ගියහ. ඒ දැරිය මේ තෙරදෙනම දැක ගෙයි වැඩ හිඳුවා ඔලිඳපොතු හා උගුරැස් පොතු ඔලිඳකොළ සමඟ කොටා ගුලිතුනක් සාදා එක් එක් ගුළිය තෙර දෙනමගේ පාත්‍ර දෙකේ දමා ඉතිරි ගුළිය ඉසිදත්ත තෙරුන්ගේ පාත්‍රයෙහි දමන්ට අත දිගු කළවිට අත හැරවී ගොස් සෝණතෙරුන්ගේ පාත්‍රයෙහි එය වැටුණි. එය වළඳා තෙරදෙනම වාසස්ථානයට ගියහ. මවුපිය දෙදෙන අවුත් මෙපවත් දැන ඒ දෙනමට ආරාධනා කොට දුර්භික්‍ෂය ගෙවෙන තෙක් කොළ - පොතු ආදියෙන් සංග්‍රහ කළහ.
භය සංසිඳී පිතුමහාරාජ යන නමක් ඇති වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි විට පරතෙර ගිය භික්‍ෂූහු මා තොර පටුනෙන් ගොඩ බැස “මහාසොණතෙර කොහිදැ”යි අසමින් සොයා ගියහ. තෙරණුවෝ මෙසේ ආ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන කාලකගම වට්ටාටම විහාරයට පැමිණියහ. එකල කාලකගම පවුල් සත්සියයක් විසීය. දේවතාවෝ රාත්‍රීකාලයෙහි ගමේ ඇවිදිමින් “මහාසොණස්ථවිරතුමා 500 ක් භික්‍ෂූන් සමඟ මණ්ඩලාරාමයට පැමිණියේය; එක් එක් අය නවරියන් වස්ත්‍රයක් සමග කහවණුව බැගින් අගනා පිණ්ඩපාතය පිළියෙල කොට ගෙනා යුතු ය”යි කීහ. පසුදා ගමට ඇතුල්වූ භික්‍ෂූන් වැඩහිඳ වූ පසු එක් මහාඋපාසකයෙක් සංඝස්ථවිරවූ තිස්සභූත තෙරුන් වෙත ගොස් “මහාසොණතෙර කවරෙක්දැ”යි අසා දැනගෙන වස්ත්‍රයක් පිණ්ඩපාතයක් පිළිගැන්වීය. සෙසු 699 දෙනද එසේම කළහ. ඒ දානය භික්‍ෂූන්ට බෙදාදී වළඳා ක්‍රමයෙන් අනුරාධපුරයට ගිය එතුමාට ථූපාරාමයේ සිට දකුණු දොරටුවෙන් නුවරට ඇතුල් වූ කෙණෙහි කහවණු සැටක් අගනා පිණ්ඩපාතයක් ලැබුණේය. ඉන්පසු ලැබුණු සත්කාර අප්‍රමාණ විය. (මේ තෙරුන් තුන්නම පිළිබඳ පුවත එන්නේ ඤාණවිභඞ්ග අටුවාවෙහිය.)