42. පඤ්චග්ගල ලෙන් වැසි තිස්ස භික්‍ෂුනම

මේ භික්‍ෂුනම සමාපත්තිලාභියකු වූ බැවින් එක් දිනක් අහසින් යන්නේ ගිරිගමවැසි කඹුරු තරුණියක් තවත් තරුණියන් පස් දෙනෙකුන් සමග විලකට බැස නාමල් පැලඳගෙන ගී කියන විට ඒ ගී හඬ අසා කාමරාගයෙන් මැඩුනේ සමවතින් පිරිහී විපතට වැටුණේයයි මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනාවෙහි (353) එයි.

මීට සමාන වූ සාමණේරනමක් පිළිබඳ කථාවක් විභංග අටුවාහි සම්මප්පධානවිභංගනිද්දෙසයෙහි (204) විස්තර ලෙස පෙනේ. හේ මෙසේ යි:- පිටිසරවැසි එක් රහත්තෙරනමක් මහසෑයත් මහබෝධියත් වැඳීම සඳහා අතවැසි සාමණේරනමක් සමඟ අනුරාධපුරයට ආයේය. හවස මහාසංඝයාත් මහජනයාත් චෛත්‍යය වඳින කල්හි නොගොස් නැවතී සිට තෙරනම රෑ බෝ වූ පසු සාමණේරනමටත් නොදන්වා මහසෑය වැඳීමට ගියේය. සාමණේරනම එය දැක තෙරනම අවේලාවෙහි කොහි යන්නේදැයි දැනගැන්ම පිණිස එතුමන් පසුපස්සේ නොදැනෙනසේ ගියේය. තෙරනම දකුණු දොරටුවෙන් සෑමලුවට ඇතුල්ව බුද්ධාලම්භණ ප්‍රීතියෙන් යුක්තව සෑය වඳින්ට පටන්ගති. සාමණේරනම තෙරුන් අතිශය භක්තියෙන් වඳින බව දැක මල් ලැබුණොත් පුදන්ට කැමති වෙනවා ඇතැයි සිතීය. තෙරුන් සෑය වැඳ නැගිට දොහොත් මුදුන් තබාගෙන සිටින විට හෙරණතැන කාරා තමා සිටින බව ඇඟවීය. තෙරුන් ඔහු දැක “කොයිවේලේ පැමිණියෙහි දැ”යි ඇසූවිට “ඔබ සෑය වඳිද්දී ආවෙමි”යි කියා “ස්වාමීනි, මල් ලැබුණොත් පුදනසේක්දැ”යි ඇසීය. “මෙවැනි අසදෘශ මහාචෛත්‍යයකට ලැබුණොත් මල්නොපදුන්නේ කවරෙක්දැ”යි කීවිට හෙරණ තැන සෘද්ධියන් හිමවතට ගොස් සුවඳින් හා පැහැයෙන් යුත් මල්කඩා පෙරහන්කඩෙහි දමා ගෙනවුත් තෙරුන්ට දුණි. තෙරනම “මල් ඉතාටික නොවේදැ”යි කියා බටහිර පැත්තේ පඩිපෙළින් උඩට නැග සෑයේ තුන්මල් පේසාවෙහි මල්පුදන්ට පටන්ගති. පළමු පේසාව පිරී දෙවෙනි තට්ටුවට මල් වැටුණාහ. එයත් පිරී පහතට වැටුණාහ. ඉක්බිති සෑමලුව සැමතැනම මල් විසුරුවමින් හැසුරුණි. එතරම් විශාල මලුව සැමතැන පිරුණු පසුත් පෙරහනේ මල් අවසන් නොවූ බැවින් “සාමණේරය, මල් අවසන් නොවෙති”යි කීවිට “ස්වාමීනි, පෙරහන යටිකුරු කොට හැලුවමැනවැ”යි හෙරණ කීය. එසේ කළ විට මල් අවසන් වූහ. තෙරනම පෙරහන හෙරණට දී ඇත්ප්‍රාකාරය සමග චෛත්‍යය තෙවරක් පැදකුණු කොට හැරීයන්නේ “මේ සාමණේරනම මහත් සෘද්ධි ඇත්තේය; මෙය රැකගන්ට හැකිවන්නේ දැ”යි දිවසින් බලන්නේ නොහැකි බව දැක ඔහු අමතා “සාමනේරය, තෝ දැන් මහර්ධි ඇත්තෙහි; නමුත් අනාගතයෙහි මේ සෘද්ධිය නසා ගෙන එකැස්කණ වූ පෙරහළු ස්ත්‍රියකගේ අතින් මඩින ලද කැඳබොන්නෙහි”යයි කීය. හෙරණනම මේ කීම ගැන වැඩි සැලකීමක් නො කෙළේය. මත්තෙහි මාර්ගඵල ලැබීමටත් උත්සාහ නොකෙළේය. තෙරනම එයින් පිටත්ව කුටෙලිතිස්ස මහාවිහාරයට ගියේය. හෙරණතැන තෙරුන් පිඬු පිණිස යනවිට එතුමන් පසුපස්සේ නොගොස් “ස්වාමීනි, කවර ගමකට වඩිනසේක්දැ”ය විචාරා අසවල් ගමටයයි කීවිට තෙරුන් පිටත්කර යවා තෙමේ පසුව අහසින් ගොස් ගම්දොර සමීපයේ දී තෙරුන්ගේ පාත්‍ර‍ සිවුරු දෙයි. තෙරනම “සාමණේරය, පෘථග්ජනසෘද්ධිය නම් දුර්වලය; විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳීයා හැක; එබැවින් මෙසේ නො කරව”යි නිතර අවවාද කළ නමුත් හෙරණනම ඒ කීම් නොගත්තේ ය. තෙරණුවෝ චෛත්‍ය වන්දනාව කරමින් ක්‍ර‍මයෙන් කබුපේලන්ද[1] විහාරයට පැමිණියහ. එහි වසන කල්හිද සාමණේර නම පෙර මෙන් අහසින් ගමන් කෙළේය. එක් දිනක් එගම්වැසි මනා රූ ඇති පේසකාර තරුණියක් ගමෙන් පිටත විලකට බැස මිහිරි ගී කියමින් නෙලුම් මල් කැඩීය. හෙරණතැන විලමත්තෙන් අහසෙහි යන්නේ ඇගේ ගීත ස්වරයෙහි බැඳී සමවතින් පිරිහී පියා පත් සිඳී ගිය කවුඩකු මෙන් අහසින් වැටුණේ ය. බිඳී ගිය සමාපත්තියාගේ බලයෙන්ම ජලයෙහි නො වැටී විල් ඉවුරට පාත්විය. හෙතෙම වේගයෙන් ගොස් උපාධ්‍යාය තෙරුන්ට පාත්‍ර‍ සිවුරු දී නැවතුණි. තෙරනම අවවාද කළ නමුත් ඔහු නැවැත්විය නො හැකි විය. හෙරණ විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එනතුරු බලා සිටියේය. සාමණේරනම අහසින් ගිය බවත් නැවත ඇවිත් සිටි බවත් දුටු තරුණිය “මේ තෙම මා නිසා උකටලී වූයේ වනැ”යි සිතා “සාමණේරයෙනි, ඉවත්වෙව”යි කීය. ඔහු ඉවත් වූ කල ඕ ගොඩට අවුත් වස්ත්‍ර‍ හැඳගෙන ඔහු කරා අවුත් “ස්වාමීනි, කුමක් පිණිස සිටිනසේක්දැ”යි විචාළේය. හෙරණ තමාගේ අදහස කී විට ඈ නොයෙක් කරුණු කියා ඔහුගේ අදහස වෙනස් කරවන්ට උත්සාහ ගත් නමුත් නො හැකි වූ බැවින් ඕ තොමෝ ගෙට ගොස් මවුපියන්ට මේ කාරණය දැන්වීය. එවිට මවුපිය දෙදෙන එහි අවුත් ඔහුට අවවාද කළත් අදහස් වෙනස් කරවන්ට නො හැකි වූ විට “අපි පේසකාරයෝ වෙමු; ඒ කර්‍මාන්තය කරන්ට ඔබට හැකිදැ”යි ඇසූහ. “පින්වත්නි, ගිහිවූයේ පේසකාරකර්‍මය හෝ කුලුපොතුකර්‍මාන්තය හෝ කරන්නේ ය. තෙපි වස්ත්‍ර‍යක් දීමට තරම් ලෝභීවෙත්දැ”යි සාමණේරයන් ඇසූ විට පේසකාර තෙමේ තමාගේ බඩේ බැඳ තිබුණු වස්ත්‍ර‍ය ලිහා දුන්නේ ය. එය ඇඳගෙන මහණකමින් ඉවත් වූ ඔහු ගෙට කැඳවා ගෙන ගොස් දුවණියන් පාවා දුන්හ. හෙතෙම රෙදිවිවීම ඉගෙන අන්‍යයන් සමග ඒ කර්‍මාන්තය කරන්ට පටන් ගති. අන්‍ය කම්කරුවන්ගේ භාර්‍ය්‍යාවෝ කල් ඇතුවම ඔවුන්ට බත් ගෙනාහ. මොහුගේ භාර්‍ය්‍යාව ඒතාක් කෑම නොගෙනා බැවින් හෙතෙම අන්‍යයන් වැඩ නවත්වා කෑම කනවිටත් රෙදි විවීම කරමින් සිටියේය. තමාගේ භාර්‍ය්‍යාව පසු වී ආ විට හෙතෙම ඈට තර්ජනය කෙළේය. ඈද “අන්‍යයන්ගේ ගෙවල දර - පලාකොළ - ලුණු ආදිය රැස්කොට තිබේ; පිටතින් ගෙනැවිත් දෙන්නෝද සිටිත්. මා තනිවම සියල්ල කළ යුතුය. ගෙයි කුමක් ඇද්ද නැද්දැයි ඔබ නොදනිත්. ඉදින් කැමති නම් අනුභව කරව; නොකැමති නම් අනුභව නොකරව”යි කීය. සීරළු තෙමේ “දවල් වී බත් ගෙනාවා මදිවාට මට වචනයෙනුත් අපහාස කරන්නේ හි”යි කියා ගසා දැමිය යුතු අන්කිසිවක් නොදැක අලුව රැගෙන ඈට දමා ගැසීය. එහි තියුණු වූ කොණක් ඇසේ හැපී ඇස තුවාල විය. ඇහෙන් ලේ වැගිරෙන්නට විය. ඈ අත් දෙනෙක් ඇස බදාගත්තාය. එවිට ඔහුට උපාධ්‍යාය තෙරුන්ගේ “එකැස්කණ පෙහෙරළු ස්ත්‍රියක් පිස කැඳ බොන්නෙහිය”ය යන කීම සිහිපත් වී “මාගේ උපාධ්‍යායතුමා දීර්ඝ දර්ශියෙකැ”යි සිතමින් හඬන්ට පටන් ගත්තේය. එවිට අන්‍යයෝ “පින්වත, හැඬීමෙන් ඇස ප්‍ර‍කෘතිමත් කළ නොහැක. එබැවින් හැඬීම නවතා කළයුතු ප්‍ර‍තිකාරයක් කරවව”යි කීහ. එවිට හෙතෙමේ “මම ඇස තුවාල වූ නිසා නොහඬමි. මාගේ උපාධ්‍යානයයන්ගේ වචන සිහිකොට හඬමි”යි කීහ.

  1. මෙහි මුද්‍රිත පොතෙහි කම්පුපෙලන්‍ද යයි පෙනේ. කම්පුපෙන්‍දපුකම්බුපෙණ්ඩ යනාදී පාඨභෙද ද පෙනෙත්. එංගලන්තයේ මුද්‍රිත පොතේ කබුපෙලන්‍ද යයි පෙනේ.