1. උස්වැල්ලේ මහානාග මහතෙරණුවෝ

තලගුරු වෙහෙර විසූ ධම්මදින්න මහතෙරුන්ගේ ආචාර්‍ය්‍යවරයා උච්චවාලිකවාසී මහානාග මහතෙර යයි විභංග අටුවාහි (346) කියවේ. ධම්මදින්න ස්ථවිරතුමා වනාහ පිළිසිඹියාපත් රහත් නමකි. එක්දිනක් එතුමා දිවාස්ථානයෙහි හිඳ ස්වකීයාචාර්‍ය උච්චවාලික හෝ උච්චතලංකවාසී මහානාග තෙරුන් ගේ ශ්‍ර‍මණ කෘත්‍යය මස්තකප්‍රාප්ත වී දැයි දිවැසින් බලා එතුමන් ඒතාක් පෘථග්ජන බව දැක සෘද්ධියෙන් අහසට නැග ගොස් තෙරුන් ඉදිරියෙහි අහසින් බැස වැඳ වත් දක්වා වාඩි විය. “ධම්මදින්නය, කුමක් හෙයින් නොකල්හි ආයෙහිදැ” යි ඇසූවිට “ප්‍ර‍ශ්නයක් විචාරන්ටය”ය කීය. “ඇවැත්නි, විචාරව, දන්නා දෙයක් කියමි”යි මහතෙරුන් කීවිට ධම්මදින්න තෙර ප්‍ර‍ශ්න දහසක් විචාළේය. තෙරණුවෝ විචාළ ප්‍ර‍ශ්න සියල්ල නොපැකිලි විසඳූහ. “ස්වාමීනි, ඔබගේ නුවණ ඉතා සියුම්ය, කවර කලක මේ ධර්‍මය අවබෝධ කරන ලද්දේදැ”යි ඇසූ විට “මින් අවුරුදු සැටකට පෙරදී” යය කීහ. “සෘද්ධිබල පෑමෙහිත් සමත් වෙත්දැ’යි ඇසූ විට එසේය” යි උත්තර දුන් බැවින් “ස්වාමීනි, ඇතකු මැව්ව මැනවැ”යි කීය. එතුමන් විශාල සුදු ඇතකු මැවූවිට “ස්වාමීනි, මේ ඇතා කෙළින් කොට ගත් කන් ඇතිව, දික් කළ නඟුට ඇතිව, සොඬය කටේ දමාගෙන, භයානක ශබ්ද කරමින් ඔබ ඉදිරියට එනසේ කළ මැනවැ”යි කීය. මහතෙරණුවෝ ඒ කී සේ කොට වේගයෙන් එන ඇතාට භයවී නැගිට දුවන්ට සැරසුණේ ය. එවිට ධම්මදින්න ස්ථවිරතුමා එතුමාග් සිවුරුකොණ අල්වා නවත්වා “ස්වාමීනි, රහතුන්ට භය උපදීදැ”යි ඇසීය. ඒ අවස්ථාවේ දී තමා රහත් නොවන බව දැන මහස්ථවිරතුමා “ධම්ම දින්නය, මට පිහිට වෙව”යි කියමින් ශිෂ්‍යයාගේ පාමුල ඇණතබාගෙන වාඩි විය. ධම්මදින්න තෙර එතුමාට කමටහනක් කීය. මහතෙරනම කමටහන් ගෙන සක්මනට බැස තෙවෙනි පියවරේ දී රහත්ඵලය ලැබුවේ ය.

මැදුම්සඟිඅටුවාහි සල්ලෙඛසූත්‍ර‍වර්‍ණනාවෙහි කියවෙන්නේ හඞ්කන විහාරයෙහි විසූ තෙරනමක් ධම්මදින්නතෙරුන් විසින් රහත් කරවන ලද බවයි.

ගිරුවා දනව්වෙහි කොන්තරකට්ඨ’පබ්බත මහාවිහාරයෙහි විසූ මහානාග නම් තෙරනමක් ගැන රසවාහිනියෙහි දුටුගැමුණු කථාවෙහි කියවේ. එතුමා දුටුගැමුණු කුමරු උපදින්ට ආසන්න කලක අපවත් වූ බව ඒ කථාවෙන් පෙනේ. තලගුරුවෙහෙර ධම්මදින්න තෙරුන් දුටුගැමුණු කාලයෙහි විසූ බව ඔප්පු වෙන හෙයින් එතුමාගේ ආචාර්‍ය්‍යවූ මහානාග තෙරුන් කාවන්තිස්ස කාලයේ දී විසීම සිදුවිය යුත්තකි.

අංගුත්තරඅටුවාහි එකනිපාතවණ්ණනාවෙහි (29) උච්චවාලිකවාසී මහානාග ස්ථවිරතුමා කායික වීර්‍ය්‍ය-චෛතසික වීර්‍ය්‍යය යන ද්විවිධ වීර්‍ය්‍යයෙන්ම ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ වීයයි ද එතුමා සතියක් මුළුල්ලේ සක්මන් කිරීමද තවත් සතියක් මුළුල්ලේ සිටීමද සතියක් මුළුල්ලේ හිඳීමද සතියක් මුළුල්ලේ නිදීමද කෙළේයයි කියන ලදි.