(බු. ව. 440 - 480 පමණේදී.)
ඤාණවිභඞ්ග අටුවාහි මේ ප්‍රවෘත්තිය පෙනේ:- කූටකණ්ණ රජ ගිරිගාමකණ්ණ නම් තැන වසන චුල්ලසුම්ම (= සුධම්ම) තෙරුන් කෙරෙහි භක්ති ඇත්තේ විය. වරක් රාජ “උපුල්වැව” නම් තැන වසන්නේ තෙරුන් එහි කැඳවීය. තෙරණුවෝ අවුත් එහි මාලාරාම විහාරයෙහි නැවතුණාහ. රජු තෙරුන්ගේ මෑණියන් කැඳවා “තෙරනම කුමක් වළඳන්ට කැමතිදැ”යි ඇසූවිට “අලවර්‍ග වළඳන්ට කැමතිය”යි කීය. රජතුමා අලවර්‍ග තම්බවා ගෙන මෙහෙසිය සමග විහාරයට ගොස් තෙරුන්ට අල පිළිගන්වන්නේ තෙරුන්ගේ මූණ බලන්ට අසමර්‍ථ විය. ලැගුම් ගෙයින් පිටතට පැමිණි රජ “තෙරනම කෙබඳුදැ”යි බිසවගෙන් ඇසීය. “ඔබ පුරුෂයෙක් වී එතුමාගේ මූණ බලන්ට අසමර්‍ථ වූවාහු නම් ස්ත්‍රියක් වු මම කෙසේ සමර්‍ථ වෙම්දැ”යි බිසව ඇසීය. රජ තෙමේ “මාගේ රටේ අය බදු ගෙවන ගෘහතියකුගේ පුත්‍රයකු දෙස බැලීමට අසමර්‍ථ වෙමි. අහෝ බුද්ධශාසනය ඉතා උස්සය”යි කීහ.
සිතුල්පව්වෙහි නිඞ්කපොණ්ණකපධානඝරයෙහි විසූ චුල්ලසුම්ම නම් තෙරනමක් අධිමාන ඇතිව (හෙවත් රහත් නොවීම රහත්වීමි යන අදහස ඇතිව) විසීය යි ඛුද්දකවත්‍ථුවිභඞ්ග අටුවාහි (346) පෙනේ. මැදුම්සඟි අටුවාහි සල්ලෙඛසූත්‍රවර්‍ණනාවෙහි සිතුල් පව්වෙහි විසූ අධිමාන ඇති තෙරනමක් ගැන මෙසේ කියවේ:-
සිතුල්පව්වෙහිත් එවැනිම තෙරනමක් වසයි. ධම්මදින්න ස්ථවිරතුමා ඒ තෙරුන් කරා එළඹ රහත්ඵලය ලබා කොපමණ කල්ගත වී දැයි විචාරා “සැටවසකට පමණ පෙරය”යි කී විට සෘද්ධිබල ඇද්දැයි විචාරා “එසේ ය”යි පිළිතුරු දුන්විට “ස්වාමීනි, පොකුණක් මැව්ව මැනවැ”යි කීය. එය මැවූ විට “මෙහි නෙලුම් පඳුරක් මවා එහි විශාල පියුමක් මවා ඒ පියුම මැද සිටගෙන මිහිරි හඬින් ගායනා කරමින් නෘත්‍ය දක්වන ස්ත්‍රීරූපයක් මැව්ව මැනවැ”යි කීය. ඒ තෙරුන් ඒ සියල්ල මැවූ විට “ස්වාමීනි, මේ රූපය දෙස නැවත නැවත බැලුව මැනවැ”යි කියා ධම්මදින්නතෙර ලැගුම් ගෙට ඇතුල්විය. ඒ රූපය නැවත නැවත බලන තෙරුන් තුළ හැට අවුරුද්දක් සැඟවී තිබුණු කෙලෙස් මතුවිය. එවිට ඒ තෙරණුවෝ තමන් නොරහත් බව දැන ධම්මදින්න තෙරුන්ගෙන් කමටහන් ගෙන රහත් විය. (මෙහි ඒ තෙරුන්ගේ නම දක්වා නැත. විශුද්ධිමාර්‍ගයෙහි මේ නම පෙනෙන්නේ නිකපෙන්නකපධානඝරවාසී චූල සුමන යනුවෙනි. එහි මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිනිද්දෙසය බැලිය යුතු. අංගුත්තර අටුවාහි මේ සිද්ධිය දක්වා තිබෙන්නේ මහාතිස්සනම් තෙරනමක් ගැනය. මේ පොතේ 8 වෙනි අංකය බැලිය යුතු.)