46-47. චතුනිකායික තිස්ස මහතෙර හා දත්තාභය මහතෙර.

කෝලිත වෙහෙර වැසි චතුනිකායිකතිස්ස තෙරුන්ගේ දෙටු සොහොයුරා දත්තාභය නම් තෙරනමකි. ඒ දෙටු තෙරනම පෝතලිය විහාරයෙහි වසන්නේ තමාට රෝගයක් වැලඳුණ කල්හි බාලතෙරුන් කැඳවා “මට කෙටිකොට කමටහනක් කිව මැනවැ”යි කීය. “ස්වාමීනි, කබලිංකාරාහාරය පරිග්‍ර‍හණය කළ මැනවැ”යි ඒ තෙරුන් කී විට “එය කුමක් සඳහාදැ”යි ඇසීය. “එය උපාදාරූපයකි; එක් උපාදාරූපයක් ප්‍ර‍කට වූ විට අවශේෂ තෙවිසි උපාදාරූපයෝ ප්‍ර‍කට වෙති”යි තිස්ස තෙර කීය දෙටුතෙරනම ඒ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා ස්වල්ප වේලාවකදීම රහත්විය. තිස්සතෙරුන් විහාරයෙන් පිටව නොගිය කල්හිම නැවත කැඳවා “ඔබ විසින් මට මහත් උපකාරයක් කරන ලදැ”යි කියා තමන් ලත් අධිගමය එතුමාට දැන්වීය. (මෙය අංගුත්තරතිකනිපාත අටුවාවෙහි එයි.)

දත්තාභය ස්ථවිරතුමා වනාහි අධික වූ ලෝභ - ද්වේෂ ඇත්තෙක් වූවාසේම වජ්‍රොපම ඥානයක් ඇත්තෙකැයි මැදුම්සඟි අටුවාවේ චුල්ලධම්මසමාදාන සූත්‍ර‍වර්‍ණනා (527) වෙහි දැක්වේ. විසුද්ධිමග්ග කම්මට්ඨානගහණ නිද්දෙසයෙහිත් මේ නම පෙනේ.