84. අම්බබාදක මහාතිස්ස මහතෙර.

යථොක්ත විසුද්ධිමග්ගගණ්ඨියෙහි මේ කථාව ද පෙනේ. සිංහලද්වීපයෙහි දුර්භික්‍ෂයක් පවත්නා කල්හි මහාතිස්ස නම් තෙරනමක් තමන් විසූ පෙදෙසේ ආහාර නැති බැවින් තමන් උපන් ගම වූ අම්බබාදක නම් තැනට යන්නේ සත්දිනක් නිරාහාර විය. ගම ඇතුළට පැමිණ වෙහෙසට පත්වූයේ ගෙඩි ඇති අඹ ගසක් යට වැටී හුන්නේ ය. අඹගෙඩි එතුමන් හාත්පස වැටුණ නමුත් එතුමා ඒවා ගෙන නො වැළඳීය. ඉක්බිති එක් දේවතාවෙක් අම්බබාදක ගම වැසි එක් මිනිසකුට තෙරුන්ගේ පැමිණීම දැනුම් දුනි. ඒ මිනිසා උදෑසන ම ප්‍ර‍ණීත ආහාරයක් සම්පාදනය කරගෙන අවුත් තෙරුන් වැඳ එය පිළිගැන්වීය. තෙරනම ප්‍ර‍ණීත වූ ආහාරය දැක කරුණු විමසුයේ ය. මිනිසා සිදු වූ සියල්ල කීය. එවිට තෙරනම “චජෙ ධනං අංගවරස්ස හෙතු” යනාදි ගාථාව කියා ඒ ආහාරය ප්‍ර‍තික්‍ෂෙප කෙළේය. එවිට උපාසකයා වැටී තිබුණු අඹ ගෙන පානයක් සාදා පිළිගැන්වීය. තෙරනම එය බී පසු “ස්වාමීනි, ගමට වැඩිය මැනවැ”යි උපාසකයා කීය. “පින්වත, මට යන්ට ශක්තිය නැතැ”යි කීවිට හෙතෙම තෙරුන් පිට උඩ නංවා ගෙන ගියේ ය. එසේ යන තෙරනම මෙසේ සිතී:-

“මා ඔසවා ගෙන යන මේ උපාසකයා මාගේ පියා නොවේ, මව නොවේ, නෑයෙක් ද නොවේ; සිල්වතෙක් නිසා මා මෙසේ ගෙන යයි” යන්න සිතා සංවේග උපදවා ඔහුගේ පිට උඩින් යද්දී ම විදසුන් වඩා රහත් විය. ඉක්බිති උපාසකයා තෙරුන් චීවරගුම්බ විහාරයට පමුණුවා සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. විශුද්ධි මාර්ගයේ ශීලනිර්දේශයෙහි මේ තෙරුන්ගේ නම පමණක් දක්වන ලදි.

විශුද්ධිමග්ගටීකාවෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ව පෙනේ:-

(මුද්‍රිත පොතේ 77-78 වෙනි පිටෙහි) මහාතිස්ස තෙරනම දුර්භික්‍ෂ කාලයක දී මග යන්නේ අහර නැතිකමින් හා ගමන් විඩාවෙන් දුර්‍වල වූයේ ගෙඩි ඇති අඹ ගසක් මුල වැදහොත්තේ ය. වැටුණු බොහෝ අඹ ගසයට වූහ. එක්තරා වෘද්ධ උපාසකයෙක් තෙරුන් වෙතගොස් වෙහෙස දැන අම්බපානයක් සාදා පොවා තෙරුන් තමාගේ පිට උඩ නංවා ගෙන වසන තැනට ගෙන ගියේ ය. තෙරනම ඒ අවස්ථාවේ දී උඩින් කී සේ “න පිතා න පි තෙ මාතා” යනාදිය සලකා විදසුන් වඩා රහත් විය.