35. බෝධිමාතු මහාතිස්ස ස්ථවිර

(දුටුගැමුණු රජ කල)

අංගුත්තර තිකනිපාතඅටුවාහ (365) මේ කථාව පෙනේ. චුල්ලංගණිය යුද්ධයෙන් පැරදුණු දුටුගැමුණු රජ වෙළඹක් පිට නැග තිස්ස නම් ඇමතියකු සමග පලා ගියේය. වනයක සැඟවුණු ඔහුට බඩගින්න බලවත් වූ බැවින් ආහාරයක් ඇද්දැයි ඇමතියා ගෙන් ඇසූ විට රන්බඳුනක දමා තබා සඟවාගෙන ආ බතක් ඇතැයි කී ඇමතියා එය රජු ඉදිරියෙහි තැබීය. රජ එය කොටස් සතරක් කරවා “මා විසින් සංඝයාට නොදී කිසිවිටකත් අනුභව නොකරන ලදි. අදත් එසේ නො කරමි. කාලඝෝෂණය කරව”යි කීය. ඇමතියා එසේ කළ විට බෝධිමාතුමහාතිස්ස තෙරනම ඒ ශබ්දය දිවකනින් අසා මනොගමනින් අවුත් රජු ඉදිරියෙහි පෙනී සිටියේය. රජ තමාගේ කොටසත් සංඝයාට වෙන්කළ කොටසත් පාත්‍රයෙහි දමා “ආහාර නො ලැබීමක් කිසිකලෙකත් නොවේවා”යි ප්‍රාර්ථනා කෙළේය. තිස්ස ඇමතියා ද “රජු බලා සිටියදී මම කෙසේ අනුභව කරම්දැ”යි සිතා තමාගේ කොටසත් පාත්‍රයෙහි දැමීය. වෙළඹ ද තමාගේ කොටස දෙනුකැමති බව ඇඟෙව් බැවින් ඒ කොටසත් පාත්‍රයෙහි දැමූහ. තෙරනම එය ගෙනගොස් පිඬ පිඬ බැගින් භික්‍ෂූන්ට බෙදා ඉතිරි කොටස ඒ තිදෙනට ප්‍ර‍මාණවන සේ අධිෂ්ඨාන කොට පාත්‍ර‍ය අහසට දැමීය. එය අවුත් රජු ඉදිරියෙහි සිටිවිට රජ පාත්‍ර‍ය ගෙන එයින් අහර අනුභව කෙළේය. ඉතිරි දෙදෙන ද අනුභව කළ පසු රජතෙම පාත්‍ර‍ය සෝදා තමාගේ උතුරුසළුවෙන් පිසදමා ඒ සළුව පාත්‍ර‍ය තුළ දමා “මෙය ගොස් තෙරුන්ගේ අතෙහි පිහිටාවා”යි අධිෂ්ඨාන කොට එය අහසට දැමීය. පාත්‍ර‍ය තෙරුන් වෙත පැමිණියේ ය.

මේ ප්‍ර‍වෘත්තිය සද්ධර්‍මාලංකාරයෙහි එන්නේ මෙසේ යි:- එකල දුටුගැමුණු රජ්ජුරුවෝ තිස්ස නම් අමාත්‍යයා හා දීඝහූණි නම් වෙළඹ පමණක් ඇරගෙන බිඳී පලා ගියහ. මෙසේ දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන්නාහු සප්පඳුරුහොය දියවැල්ලා නම් තොටට ගොස් සන්නාහය ගලවා තබා ඇමැත්තහු බණවා................... “ඉතාම සයින් පීඩිතයෙමි, බතෙක් ඇද්දැ”යි විචාළහ. එබස් ඇසූ තිස්ස නම් අමාත්‍යයා “ස්වාමීනි, රන්තැටියෙන් ගෙනා බතෙක් ඇත; මෙහෙ නිමවුව මැනවැ”යි කියා රන්තැටියෙන් ගෙනා බත් මෑත්කොට රජ්ජුරුවන්ට දින. එවේලෙහි රජ්ජුරුවෝ පියවර බලා වේලා ඇතිබව දැන සඟුරුවන්ට දන්දීමුත් නොකමී යි සිතා ඒ රන්තැටියෙන් ගෙනා බතෙක් ඇත: මෙහෙ නිමවුව මැනවැ”යි කියා රන්තැටියෙන් ගෙනා බත සංඝයා වහන්සේට දන්දෙන්ට ද තමන්ට ද අමාත්‍යයාට ද වෙළඹට ද මෙසේ සතර කොට්ඨාසයක් කොට බෙදා තමා “බෑණෙනි, සංඝයා වහන්සේට සිඟා වඩනට අඬගාව”යි කීහ. එකල්හි අමාත්‍යයා “ස්වාමීනි, දැන් මේ සංඝයාවහන්සේ සිඟා වඩනාකලැ”යි කාලඝෝෂා කෙළේය. එකල්හි පළමු මෙම දුටුගැමුණු රජ්ජුරුවන්ට ශික්‍ෂාපද දුන් ගෝතම නම් තෙරුන්වහන්සේ පුවඟුදිවයින වැඩ සිටිසේක් ඒ ශබ්දය දිවකණින් අසා තමන් වහන්සේගේ අතවැසි වූ කුටුම්බියතිස්ස නම් මහතෙරුන්වහන්සේ කැඳවා ඒපවත් කියා නික්ම වූ සේක. උන්වහන්සේ ද යහපතැයි ගිවිස ආකාශයෙන් අවුත් රජ්ජුරුවන් ඉදිරියෙහි වැඩසිටිසේක. එකල්හි රජ්ජුරුවෝ උන්වහන්සේ දැක වැඳ පාත්‍ර‍ය අතින්ගෙන දන් දෙන්ට තිබූ කොට්ඨාසය හා තමන්ට තිබූ භාගය පාත්‍රයේ බහාපීහ. ඒ දැක අමාත්‍යයා ද තමාට තිබූ භාගය පාත්‍රයේ දමාපීය. වෙළඹ ද තමා ගේ කොට්ඨාසය ද දෙනුකැමති රජ්ජුරුවන් මුහුණ බලා කුරයෙන් සංඥාකළාය. .................. කුටුම්බිය තෙරුන්වහන්සේ ඒ බත් පාත්‍ර‍ය ගෙන ගොස් ගෝතම තෙරුන්වහන්සේට දුන් සේක. උන්වහන්සේ ඒ බත් පන්සියයක් දෙනා වහන්සේ හා සමග බෙදා වළඳා එකි එකීනමගෙන් බත් ආලෝපයක් බැගින් (ගෙන) පාත්‍ර‍ය පුරවා “මේ බත්පාත්‍ර‍ය ආකාශයෙන් ගොස් රජ්ජුරුවන් ඉදිරියෙහි අතපොවා ගත හැකි සැටිසේ සිටීව”යි අධිෂ්ඨාන කොට අහසට හළසේක. එවේලෙහි පාත්‍ර‍ය එපරිද්දෙන්ම අවුත් ඉදිරියෙහි සිටියා දැක තිස්ස නම් අමාත්‍යයා පාත්‍ර‍ය අතින් ගෙන තබා රජ්ජුරුවන් බත් අනුභව කරවා තෙමේත් බත් කා වෙළඹත් බත් කැවීය. ඉක්බිති රජ්ජුරුවෝ පාත්‍ර‍ය සෝදා දියසිඳ තමන් පෙරවි සන්නාහය සුඹුළුවක් කොට පාත්‍ර‍ය ඒ පිට තබා “මේ පාත්‍ර‍ය තෙරුන් වහන්සේ ගේ අත්ලෙහි පිහිටාවා”යි සිතූහ. ඒ සිත හා සමඟ පාත්‍ර‍ය අහසින් ගොස් තෙරුන් වහන්සේ ගේ අත්ලෙහිම පිහිටියේය”

රසවාහිනියෙහි පලායන කල්පකන්දර (කප්කඳුරු) ගඟේ ජලමාලි නම් තොටට පැමිණ සන්නාහය මිදුවේයයි කියවේ. සෙස්ස සද්ධර්‍මරත්නාවලිය හා ගැළපේ. මහාවංශයෙහි වෙළඹගේ නම “දීඝථූනිකා” යයි ද ගඟේ නම කප්පකන්දරයයි ද තොටේ නම් ජීවමාලි හෝ ජවමාල යයි ද පෙනේ. ඉතිරි කොටස සද්ධර්‍මාලංකාරය හා ගැළපේ.