(බු:ව 440 - 480 පමණේ දී.)
උපතිස්ස මහතෙරුන්ගේ ශිෂ්‍යයන් අතුරෙන් ප්‍රකට භාවයට පැමිණි දෙවෙනි ශිෂ්‍යයා මහාසුම්ම තෙරණුවෝ ය. මහාපදුම තෙරුන්ගේ මතය දැක්වූ බොහෝ තැන්වල ඊට අනතුරුව ම මහාසුම්ම තෙරුන්ගේ මතය දක්වනු ලැබේ. විනය අටුවාවේ එකුන්විසි (19) තැනක මෙතුමාගේ නාමය සඳහන් කොට තිබේ. මෙතුමා ස්වකීයාචාර්‍ය්‍යයන් වෙතින් නව වරක් විනය පිටකය අස්වා ගත්තේ ය. මුන්වහන්සේගේ උපාධ්‍යායවරයා අනුරුද්ධ නමැති තෙරනමකැයි විනය අටුවාවේ නිස්සග්ගිය වණ්ණනාවෙහි (392) කියන ලදී.
දීපවිහාරවාසීසුම්ම නමැති මහතෙරනමක් ගැන මැඳුම්සඟි අටුවාවේ ආකංඛෙය්‍යසුත්තවණ්ණනාවෙහි (126) ද අංගුත්තරඅටුවාහි දුකනිපාතවණ්ණනාවෙහි (319) ද කියන ලදි. ඒ දෙතැන් හිම “පාතිමොක්‍ඛසංවරසංවුතො” යන පදය ගැන එතුමාගේ අදහසත් එතුමාගේ ශිෂ්‍යවූ තෙපිටකචූලනාග තෙරුන්ගේ ඊට වෙනස් වූ අදහසත් දක්වා තිබේ. සම්මොහවිනොදනියෙ ඣාන විභංගවණ්ණනාවෙහි ද මේ ගුරු ශිෂ්‍ය දෙනමගේ මතභේදයක් ගැන කියා තිබේ. [1]
බු.ව. 467 සිට 14 වර්‍ෂයක් රාජ්‍යය කළ “මහාචූළි මහාතිස්ස” රජ සියතින් කර්‍මාන්ත කොට ලබාගත් දෙයින් දන්දීම මහත්ඵල යයි අසා තමා රාජ්‍යය ලැබූ ප්‍රථම වර්‍ෂයේ දී ම අප්‍රකට වේශයෙන් ගොස් ඇල්කෙතක ගොයම් කපා ලත් කුලියෙන් මහාසුම්ම තෙරුන්ට දනක් දුන්නේ යයි මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයෙහි කියවේ. එහිම 33 වෙනි පරිච්ඡේදයේ 60 - 61 - 62 වෙනි ගාථාවලින් ථෙරපුත්තාභය යෝධයාගේ පියා මහාසුම්ම තෙරුන් ගේ උපස්ථායකයෙක් වී යයි ද හෙතෙම කෝටපබ්බත විහාරයේ දී තෙරුන්ගෙන් බණ අසා පැවිදි වී රහත්වී යයි ද කියා තිබේ. මහසිළු - මහතිස් රජුගේ (බු.ව. 467-481) කාලයෙහි සිටි තෙරනමක් (බු.ව. 383 පමණේ දී) දුටුගැමුණු කාලයෙහිත් සිටියේ යයි පිළිගැනීම පහසු නොවේ. මෙය විමසිය යුත්තකි.
-
මෙම “සුම්ම - මහාසුම්ම” යන නම් දෙකම එක් ස්ථවිරනමක් සඳහා දැයි විමසිය යුතුය. දීපවිහාර යන්න එංගලන්තයේ මුද්‍රිතපොතේ “දෙවීවිහාර” යයි ද “දිබ්බවිහාර” යයි ද දෙවිධියකින් පෙනේ. ↑