10. රෝහණවාසී මහාතිස්ස මහතෙර

මහාතිස්සතෙරනම වනාහි උපසම්පදාව ලැබූකල පටන්ම අෂ්ටසමාපත්තිලාභියෙක් විය. එතුමා සමාපත්තියෙන් යටපත් වූ ක්ලේශයන්ගේ ඉපදීමක් නැති බැවින් සැටවස් පිරුණු කල්හිත් තමා පෘථග්ජනයකු බව නො දැන (රහත්නමක් යයි සිතාගෙන) සිටියේය. එක් කලක මාගම තිස්සමහාවිහාරයේ භික්‍ෂූහු තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන්ට ධර්‍මදේශනාව සඳහා ආරාධනාවක් යැවූහ. ධම්මදින්න ස්ථවිරතුමා පිරිස සමඟ එහි යන්ට පිටත්ව තමාට වඩා මහලු තෙරනමක් කැඳවාගෙන යාම සුදුසුයයි සිතා තමාගේ කර්‍මස්ථානදායකාචාර්‍ය්‍යවරයා වූ මහාතිස්ස තෙරුන් වෙත ගොස් දිවාස්ථානයෙහි හුන් තෙරුන්ට වැඳ වැඩහුන්නේ ය. එවිට මහතෙරනම “ධම්මදින්නය, බොහෝ කලකින් ආවේ කුමක් සඳහාදැ”යි ඇසීය. “ස්වාමීනි, තිස්සමහවෙහෙරින් මට ආරාධනාවක් ලැබුණි. මම ඔබවහන්සේත් කැටිව එහි යනු කැමැත්තෙන් ආමි”යි කී ධම්මදින්න තෙර තවත් සිහිකටයුතු දේ කියා “ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ධර්‍මාවබෝධය කරන ලද්දේ කවර කලදැ”යි ඇසීය. “ඇවැත්නි, සැට හවුරුද්දකට පමණ පෙරය”යි කී විට “ස්වාමීනි, එක් පොකුණක් මැව්ව මැනවැ”යි කීය. පොකුණ මැවූ විට එහි නෙලුම් පඳුරක් ද ඒ පඳුරෙහි විශාල නෙලුම් මලක් ද ඒ මලෙහි සොළස් හැවිරිදි තරුණියක් ද මැව්ව මැනවැයි කීය. ඒවා පිළිවෙළින් මැවූ පසු “ස්වාමීනි, මේ රූපය නැවත නැවත ශුභ වශයෙන් මෙනෙහි කළ මැනවැ”යි කීය. එසේ මෙනෙහි කරන තෙරුන්ට රාගචේතනාවක් උපන්නේ ය. එකෙණෙහි තමා පෘථග්ජන බව දැන ගත් ස්ථවිරතුමා “සත්පුරුෂය, මට පිහිටවෙව”යි කියමින් තමාගේ අතවැසි ධම්මදින්න තෙරුන් ළඟ උක්කුටිකයෙන් හිඳගත්තේ ය. ධම්මදින්න තෙර එතුමාට අශුභ කමටහනක් කියා දී භාවනාවට අවකාශ දීම සඳහා පිටත නික්මියේය. එකෙණෙහිම එතුමා රහත්ඵලය ලැබීය. ඉන්පසු ධම්මදින්නතෙරණුවෝ එතුමන් සංඝස්ථවිර කොට ගෙන තිස්සමහාවිහාරයට ගියේ ය. මෙය අංගුත්තර ඒකකනිපාතවණ්ණනාවෙහි (25) එයි.

මේ ප්‍ර‍වෘත්තිය මැඳුම්සඟි අටුවාහි සල්ලෙඛසූත්‍ර‍වර්‍ණනාවෙහිත් කියවේ. එහි තිබෙන්නේ මේ තෙරුන් සිතුල්පව්වේ විසූ බවයි.