60. චූලපිණ්ඩපාතික නාග මහතෙර

(වළගම්බා රජුකල.)

රජරට චූලනාග කඳවුරෙහි “වේණි” නම් ගමක් විය. එය අසළ නළඛණ්ඩ ප්‍ර‍ධාන විහාරයෙහි “චූලපිණ්ඩපාතික තිස්ස” නම් තෙරනමක් විසී. මෙකල ලක්දිව බැමිණිතියාසාය හටගති. එගම විසූ “අම්බ” නම් ඇමතියා තමාගේ පිරිස් පිටිසරට යවා ගෙයි වසන්නේ තිබුණු ධාන්‍ය අවසන් වූ විට එකම සහල් නැළියක් සොයා උයවා අනුභව කරන්ට සැරසුණු විට පිණ්ඩපාතික නාගතෙරුන් පිඬු සඳහා ගමට ඇතුල්ව බත් හුලක් වත් නො ලැබ හැරීයනු දැක තමාගේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම විවේක ස්ථානයකට ගොස් විදසුන් වඩා රහත් වී එය අනුභව කෙළේය. ඒ දානයේ විපාක ඒ ආත්මයේ දී ම ඇමතියාට ලැබුණු සැටි රසවාහිනියේ අම්බාමාත්‍ය වස්තුවෙහි විස්තර වේ.

සද්ධර්‍මාලංකාරයෙහ මේ ප්‍ර‍වෘත්තිය කියවෙන්නේ මෙසේයි: “මෙම ලංකාද්වීපයෙහි රජරට සුලුන්නරු නම් කඳවුරෙහි මහත් වූ ඉසුරුමත් වූ “වේණිශාල” නම් අමාත්‍යයෙක් විය. ඔහුගේ පුත් වූ අම්බනම් අමාත්‍යයෙක්................. එම කඳවුරෙහි වාසය කෙරෙයි” යනාදි වශයෙනි. විහාරයේ නම “බටකඩ” නම් භාවනාගේ යයි කියවේ.