75. විජයාරාමවාසී රහත්තෙරනම

විජයාරාමවාසී එක් රහත්තෙරනමක් භික්‍ෂූන් දෙනමකට කමටහන් දෙමින් සූත්‍ර‍යක් ගෙනහැර දක්වා “සමුද්දො සමුද්දොති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො භාසති” යන වාක්‍යය කියන්නේ සමුද්ධො යි ධනිත කොට කීය. ඉන් එක් භික්‍ෂුනමක් “ස්වාමීනි, සමුද්ධ නොවේ, සමුද්ද යයි කීවිට තෙරනම “සමුද්ධ යයි කීවත් සමුද්දය යි කීවත් අපි ලවණ සාගරය ගනිමු; තෙපි වනාහි ව්‍යඤ්ජන සොයන්නෝ වව්. අර්‍ථ සොයන්නෝ නොවව්. එබැවින් මහාවිහාරයට ගොස් උගත් භික්‍ෂූන් වෙතින් ව්‍යඤ්ජන ශෝඡනය උගනිව්”ය යි කියා ඔවුන්ට කමටහන් නො දී පිටත් කෙළේ ය. (මෙය මැඳුම්සඟි අටුවාහි කින්තිසුත්තවණ්ණනාවෙහි (828) පෙනේ.