136. බෙහෙත් මුලක් නිසා පිසාචයන් දැකීම

එක් පංසුපිසාචිකාවක් තමාගේ දරු දෙදෙන ථූපාරාම දොරටුවේ නවත්වා ආහාර සෙවීම පිණිස නුවරට ඇතුල් විය. දරු දෙදෙන බඩගින්න ඉවසිය නො හැකිව පිඬු පිණිස නුවරට යන එක් තෙරනමක් දැක කථා කොට “ස්වාමීනි, අපගේ මව කෑම සෙවීම පිණිස නුවරට ගියා ය. ලැබුණු දෙයක් මොනවා හෝ රැගෙන වහා අවමැනවැ යි ඈට කියනු මැනවි. අපට බඩගින්න ඉවසිය නොහැකැ”යි කීහ. “මම ඈ දකින්නේ කෙසේ දැ”යි ඇසූ විට එක් මුල් කැබැල්ලක් දී මවගේ ලකුණු කීහ. ඒ මුල රැගෙන යන තෙරුන්ට නොයෙක් දහස් ගණන් පිසාචයෝ පෙනුණාහ. යක් දරුවන් කී ලකුණුවලින් උන්ගේ මෑණියන් හැඳිනගත් තෙරනම ඔවුන්ගේ පණිවුඩය ඈට කීය. ඒ අවස්ථාවේ දී ඕ තොමෝ කේවට්ට වීථියෙහි ගර්භමලයක් (වැදෑ මසක්) ලබා ගන්ට උත්සාහ කරමින් සිටියාහ. “ස්වාමීනි, ඔබට මා පෙනුණේ කෙසේ දැ”යි විචාළ විට තෙරනම මුල්කැබැල්ල පෙන්විය. ඈ එය උදුරා ගති. (මේ කථාව මැඳුම් සඟි අටුවාවේ (චා. 713) සකුලුදායිසුත්තවණ්ණනාවෙහි එයි.)

  1. විනය අටුවාවේ නොයෙක් තැන චූලසුම්ම යන නම් පෙනේ. සුම්ම යයි වචනයක් පාළියෙහි නොපෙනේ. එබැවින් සුධම්ම යන්න ධ-කාරය අඩුවී සුම්ම යයි ලියවුනා විය හැක.

  2. ලෙණගිරි නම් “ලෙණගල” යයි ප්‍ර‍කට විහාරය විය යුතුයි. ඇතැම් අටුවා පොත්වල ලෙණගිරි යයි පෙනේ; එය සිංහලෙන් “ලුණුගල” විය යුතුයි. “ලෙණගිරි” යන්න වැඩි තැනක පෙනේ.