69. තිපිටක තිස්ස ස්ථවිර

මෙතුමා ත්‍රිපිටකය ශුද්ධකර ගැනීම සඳහා පරතෙරට ගියේය. එක් කෙළෙඹියෙක් එහි දී එතුමාට සිවුපසයෙන් උපස්ථාන කෙළේය. හැරී එන අවස්ථාවේ දී තෙරනම කෙළෙඹියාට යන බව කීය. “ස්වාමීනි, කොහි වඩිනා සේක්දැ”යි ඇසූවිට “මාගේ ආචාර්‍ය්‍ය - උපාධ්‍යායයන් වෙතට” යයි කීය. ස්වාමීනි, මට එහි යන්ට නොහැක. ඔබ නිසා මා විසින් බුද්ධශාසනයාගේ ගුණය දන්නා ලදි. ඔබ ගිය කල්හි කෙබඳු භික්‍ෂුනමක් කරා එළඹිය යුතුදැ”යි විචාළේ ය. එවිට තෙරනම “යම් භික්‍ෂුනමක් සූවිසි සෝවාන් පුද්ගලයන්ද දොළොස් සකෘදාගාමී පුද්ගලයන් ද අටසාළිස් අනාගාමී පුද්ගලයන් ද දොළොස් රහතන් ද විස්තර කොට පෙන්වා බණ කියන්ට සමර්‍ථ නම් එවැනි භික්‍ෂුනම්ක ආශ්‍ර‍ය කරව”යි කීය. (මෙය සංයුත්ත මහාවග්ගවණ්ණනාවෙහි ඡළින්‍ද්‍රියවග්ග (iii, 191) යෙහි පෙනේ.