ගවරවාළ අංගනයෙහි තිස්නමක් භික්‍ෂූහු වස් එළඹ අඩමසක් පාසා පෝයදිනයන් හි චතුපච්චයසන්තොස භාවනාරාම අරියවංශය දේශනා කළහ. එක් පිණ්ඩපාතික තෙරනමක් එහි දහම් දෙසන අවස්ථාවක පැමිණ තරමක් දුරින් ආවරණය ඇති තැනක හුන්නේය. ඉක්බිති එක් තෙලිස්සෙක් එතුමාගේ කෙණ්ඩය දෂ්ට කෙළේය. තෙරනම ඌ අල්ලා පසුම්බියක දමා බැඳ තබා ධර්‍ම ශ්‍රවණයට බාධාවක් නො කොට විෂවේගය උසුළාගෙන සිටියේ ය. අරුණ නැගෙන වේලෙහි බණ අවසන් වීමත් තෙරුන් අනාගාමි ඵලයට පැමිණිමත් විෂය ශරීරයෙන් පිටවී පොළොවට බැසීමත් යන තුන එක විටම සිද්ධ විය. (මේ කථාව අංගුත්තරතිකනිපාත අටුවාහි (385) එයි. මෙහි 15 අංකයෙහි දැක්වෙන සංයුත්තභාණක චූලසීව තෙරුන් පිළිබඳ කථාව ද බැලිය යුතු.)
රසවාහිනී ග්‍රන්ථයෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ලෙස පෙනේ. එහි මෙසේ කියවේ:- සිංහලද්වීපයෙහි මාගම නොයෙක් සියගණන් භික්ෂූන්ට වාසස්ථාන වූ මහවැව නම් විහාරයක් විය. එහි අවුරුදු පතා අරිවංශදේශනාව පැවැත්වූ බැවින් එය ඇසීමට බොහෝ දුරිනුත් මිනිස්සු පැමිණියහ. කුඩ්ඩරජ්ජ පෙදෙස් වැසි එක්තරා තෙරනමක් ද බණ ඇසීම පිණිස එහි ගියේ මලුවෙහි අවකාශයක් නොලැබ මහ පිරිසගේ කෙළවරෙහි මලුවෙන් පිටත තණපඳුරක් ඇති තැන සිට ගෙන මහත් ප්‍රීතියෙන් බණ ඇසීය. රාත්‍රියේ දී ඒ පඳුරේ උන් පොළඟෙක් තෙරුන්ගේ තට්ටම දෂ්ට කෙළේය. තෙරනම එතැනින් ඉවත්ව නො ගොස් සර්පයා අල්වා වහන් පසුම්බියේ දමා බැඳතබා බණ ඇසීය. පසු දා උදය සර්පයා භික්‍ෂූන්ට දක්වා ඔවුන් විසින් කොයිවේලේදී ඌ අල්වන ලද දැයි ඇසූවිට නිදාන කථාරම්භකාලයේ දී යයි කීය. ඉක්බිති සත්‍ය ක්‍රියා කොට විෂ බස්වා ගත්තේ ය.