(බු.ව. 400 - 480 පමණ)
විනය අටුවාහි ප්‍රථම පාරාජිකවතවණ්ණනාවෙහි (137) මේ ප්‍රවෘත්තිය පෙනේ: - තාම්‍රපර්ණිද්වීපයෙහි උපතිස්ස - ඵුස්සදේව යන සමානාචාර්‍යක තෙර දෙනමක් වූහ. මහාභය (හෙවත් බැමිණිතියාසාය) පැමිණි කල්හි මේ දෙනම විනය පිටකය දරමින් රැක ගත්හ. එයින් උපතිෂ්‍යස්ථවිරතුමා ව්‍යක්තතරය. එතුමාට මහාපදුම - මහාසුම්ම යන ශිෂ්‍ය දෙනමක් වූහ. ඔවුනතුරෙන් මහාසුම්මතෙර නවවරක් විනයපිටකය අස්වාගත්තේය. මහාපදුම තෙර මහාසුම්ම තෙරුන් හා නවවරක් ද වෙන් වශයෙන්ද නවවරක් දැයි 18 වරක් විනය පිටකය අස්වාගත්තේ ය. එබැවින් ඒ දෙනම අතුරෙන් මහාපදුමතෙර ව්‍යක්තතරයි.
උපතිස්ස තෙරුන් වෙත මහාපදුමාදි ශිෂ්‍යයන් පන්සියයක් විනය උගත් බව විනය අටුවාහි පඨමපාරාජිකාවණ්ණනාවෙහි ම කියන ලදි.
කුලදූසක ශික්‍ෂාපද වර්‍ණාවේදී උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් “කුලදූසකයා වසන ගමෙහි හෝ නුවරින් නෙරපිය යුතුය” යි කී තැන ඇතැම් විට නගරයක් දොළොස් යොදුන් පමණක් වන බැවින් කෙසේ පිළිපැද්ද යුතුදැයි ඇසූවිට “ඇවැත්නි, යම්වීථියක වෙසේ නම් ඒ වීථියෙන් නෙරපීම යෝග්‍යය”යි උපතිස්ස තෙරුන් කී බව දැක්වේ. ඒ මතය අනාචාර්‍ය්‍යයන් විසින් පිළිනොගන්නා ලදි. “තං පන ථෙරස්ස මනොරථමත්තමෙව”යි කියමින් අර්‍ථකථාචාර්‍ය්‍යයෝ එය ප්‍රතික්‍ෂේප කළහ.
මිනිසකු මැරීම සඳහා භික්‍ෂු නමක් විසින් බොරුවළක් කැණ තැබූ විට එහි යකකු වැටී මැරුණොත් ඌ මැරෙණවිට තිරිසන් රූපයක් ගෙන මළත් ථුල්ලච්චය ඇවැත සිදුවේ යයි උපතිස්ස තෙරුන් කී බවත් එතුමාගේ සොහොයුරු ඵුස්සදේව තෙර පාචිත්තිය ඇවැත යයි කී බවත් චතුත්‍ථපාරාජික වණ්ණනා (348) වෙහි කියවේ.
නිස්සග්ගියවණ්ණනාවෙහි උද්දොසිත සික්ඛාපදයේදී අවිප්ප වාස සම්මුතිය ගැන උපතිස්ස - ඵුස්සදේව දෙනමගේ උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යවූ මහාසුම්ම - මහාපදුම දෙනමගේ ද මතභේද සතරක් දක්වා තිබේ. (364) එහිම 365 වෙනි පිටෙහිත් උපතිස්ස තෙරුන්ගේ නම පෙනේ.
නිස්සග්ගිය - ඡබ්බස්ස ශික්‍ෂාපද වර්‍ණනාවෙහි ද උපතිස්ස තෙරුන්ගේ මතයක් ගැන කියවේ (383). එහිම භෙසජ්ජිසික්ඛා පද වණ්ණනාවෙහි උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් ස්වකීයාචාර්‍ය්‍යවරයාගෙන් “ස්වාමීනි, ගිතෙල් - වෙඬරු - වුරුණුතෙල් මිශ්‍රකොට පිසගත් විට එය විකාලයෙහි කැපදැ”යි ඇසූවිට “කැපැ නැතැ”යි උත්තර දුන් බව කියවේ. (402)
සුළුවගඅටුවාහි සෙනාසනක්ඛන්‍ධක වණ්ණනාවෙහි “විනයධර උපතිස්සත්‍ථෙරො පන බිම්බොහනං කරිස්සාමීති කප්පියතුලං වා අකප්පියතුලං වා පක්ඛිපිත්‍වා කරොන්තස්ස පමාණයුත්තමෙව වට්ටතීති ආහ” යන්නෙන් උපතිස්ස තෙරුන්ගේ මතයක් දක්වා තිබේ. (308)
මෙතුමා බැමිණිතියාසාය පැමිණෙන විට ස්ථවිරභාවයට පැමිණසිටි බව කියවෙන බැවින් බු:ව: 441ටත් 480 ටත් අතර කාලයෙහි ජීවත්වී යයි සැලකිය හැක. බැමිණිතියාසාය පැමිණියේ වලගම්බා (=වට්ටගාමිණී අභය) රජු රාජ්‍යය හැර ගොස් සැඟවී සිටි කාලයේදීය. එය නම් බු:ව: 441 ටත් 455ටත් අතර කාලයයි. ත්‍රිපිටකය පුස්තකාරූඪ කරන ලද්දේත් මේ කාලයේදී විය යුතුයි. පොත්වල ලිවීමට පෙර ත්‍රිපිටකයම රක්නා ල්දදේ කටපාඩම් කළ තෙරවරුන් විසිනි. මේ උපතිස්සතෙර මහාභයේදී විනය රැකගත් බව කියවේ. (රැකගත්තේ නිතර කටපාඩම් කීමෙනි.) එබැවින් පුස්තකාරෝපණයේදී මෙතුමා ප්‍රධානස්ථානයක් ගෙන ක්‍රියාකළාට සැක නැත.
මෙතුමාගේ නාමය අමරණීය වූයේ විනයදැරීමෙන් පමණක් නොවේ. දැන් අපට තිබෙන විසුද්ධිමග්ග නම් ප්‍රකරණය හා නොයෙක් ආකාරයෙන් සමාන වූ විමුත්තිමග්ග නම් ධර්‍මසංග්‍රහ ග්‍රන්ථය නිපදවන ලද්දේ මුන්වහන්සේ විසිනි. ඒ පාළිපොත චීනයට ගෙන යන ලදින් ක්‍රි:ව: 505 දී සංඝපාල නම් තෙරනමක් විසින් චීනබසට නගන ලදි. මේ සංඝපාල තෙරනම චීනයේ සිටි භාරතීය ගුණභද්‍ර තෙරුන්ගේ ශිෂ්‍යභාවයට පැමිණ කාම්භෝජයෙහි උපන්නෙකැයි සලකත්. යථෝක්ත ගුණභද්‍ර තෙරනම දඹදිවින් චීනයට යද්දී ලක්දිවට පැමිණියේ යයි වාර්‍තා වී තිබේ. එබැවින් එතුමා විසින් විමුත්තිමග්ගය චීනරටට ගෙන යන ලදැයි සැලකිය හැක.
“විමුත්තිමග්ග” නමැති පාළි පොතක පරිවර්‍තනයක් වූ චීන පොතක් විද්‍යමානයයි ද එය උපතිස්ස නම් තෙරනමක් විසින් ලියනලදැයි ද පළමු කොටම උගතුන්ට දැන්වූයේ ටෝකියෝ නුවර අධිරාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය්‍යවරයකු වූ එම්. නාගායි මහතා විසිනි. ඉන්පසු ඒ චීනපොත ඉංග්‍රීසියට නැගූ පූනානුවර ෆර්ගුසන් විද්‍යාලයේ පාලිකථිකාචාර්‍ය්‍යවරයා වූ පී.වී. බාපාත් මහතා විශුද්ධිමාර්‍ගයත් විමුත්තිමග්ගයත් සසඳා බලමින් පොත් දෙකේ ඇති සමානකම් හා වෙනස්කම් දක්වමින් 1937 දී පිටු 200 කින් පමණ යුත් ග්‍රන්ථයක් පළකරවීය. ඒ මහතා කියන්නේ විමුත්තිමග්ගය අභයගිරි වාසීන්ගේ “විශුද්ධිමාර්‍ගය” වූ බවයි. විශුද්ධිමාර්‍ගයෙහි හා පාලි අටුවාවල ප්‍රතික්‍ෂෙප කොට තිබෙන “මිද්ධය රූපයක් වේ” යනාදී නොයෙක් මතයන් ඒ විමුත්තිමග්ගයෙහි පිළිගෙන තිබෙන බව ඒ මහතා සවිස්තර ලෙස දක්වයි.
මේ පොත අභයගිරිවාසීන් පිළිගත් බව සැබෑවුවත් “උපතිස්ස” මහතෙර පළමුවෙන් අභයගිරිවාසියෙක් නොවීය. බැමිණිතියාසාය පවත්නාකල්හි අභයගිරි විහාරය ආරම්භ වී නො තිබුණේය. එහි මූලාරම්භය වූයේ ඒ මහාභය ඉක්ම ගොස් වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි පසුය. අභයගිරි විහාරය කරවන කාලයේදී උපතිස්ස තෙරුන් ජීවත්ව සිටින්ට ඇත. එතුමා පසු කලක ඒ විහාරයෙහි නැවතී සිටියේදැයි නොදනිමු. එසේ සිටියත් එතුමා එක් පක්‍ෂයකට අයත් තෙරනමක් නොවන බව විනය අටුවාවෙන් පෙනේ. එතුමාගේ ඇතැම් මතයෝ විනය අටුවාවෙන් ප්‍රතික්‍ෂෙප කරන ලද්දාහ. ධර්‍මය සම්බන්ධ වූ වෙනස් මතයන් ද ආචාර්‍ය්‍යවරයන් අතර තිබෙන්ට ඇත. විමුත්තිමග්ගයෙහි පෙනෙන්නේ ඒ වෙනස් මතයයි සිතම්හ.