පැළලුප් නුවර වැසි විසාඛ නමැති කෙළෙඹියකුට සිංහලද්වීපය චෛත්‍ය මලුවලින් අලංකෘතය, කසාවතින් බැබලෙන්නේ ය, ගිය ගිය තැනම විසිය හැක: සෘතුසමත්‍වය, සේනාසනසුලභත්‍වය, ධර්‍මශ්‍රවණලාභය, සේවනයට යෝග්‍ය පුද්ගලයන්ගේ සුලභත්‍වය යන මෙයින් යුක්තයයි. අසන්ට ලැබී තමාගේ ධනස්කන්ධය දූදරුවන්ට පාවා දී දාවලුකොණෙහි බැඳගත් එකම කහවණුවක් ඇතිව ගෙදරින් නික්ම නැව් තොටකට ගොස් නැවක් බලාපොරොත්තු වෙමින් මසක් පමණ කල් ගත කෙළේය. තමා වෙළෙඳාමෙහි දක්ෂ බැවින් ඒ මාසය තුළ දී අතේ තිබුණ කහවණුවෙන් බඩුගෙන වෙළඳාම් කොට ක්‍රමයෙන් කහවණු දහසක් ඉපදවීය. ඉන්පසු ලක්දිවට අවුත් ක්‍රමයෙන් මහාවිහාරයට පැමිණ පැවිද්ද ඉල්වා පැවිදි කිරීම සඳහා සීමාවක් තුළට කැඳවනු ලැබූවිට ඒ කහවණු පොදිය ඔඩොක්කුවෙන් ගෙන පැත්තක තැබීය. “මේ මොනවා දැ”යි ඇසූ විට “කහවණු දහසකැ”යි කීය. “පැවිදි වූ පසු මේවා විචාරණය කරන්ට නො හැකිය; ඊට පෙර ඒවාට කළ යුත්තක් කළ යුතුය”යි කී විට හෙතෙමේ “විසාඛගේ පැවිදිවීම බලන්ට පැමිණියෝ හිස් අතින් නොයෙත්වා”යි කියා කහවණුදහස සීමා මාලකයෙහි විසුරුවා දැමීය. ඉන් පසු පැවිදි උපසම්පදාවන් ලැබූ හෙතෙමේ ප්‍රාතිමෝක්ෂ දෙක ඉගෙන වස්පසක් ගුරුවරුන් සමීපයෙහි වැස එක් විහාරයක සාරමාසය බැගින් වසමින් ලක්දිව සංචාරය කෙළේය. හෙතෙම සිතුල්පව්වට ගොස් සාරමසක් වැස “හෙට උදෑසන අන්තැනකට යන්නෙමි”යි සිතා නින්දට ගියේය. සක්මන කෙළවර මයිලගසේ අධිගෘහිත දේවතාවා තරප්ප පඩියක හිඳගෙන අඬන්ට පටන් ගති. තෙරනම “මේ කවරෙක්දැ”යි ඇසීය. මම මයිලගසේ දෙවියා වෙමි”යි කීවිට කුමක් නිසා හඬන්නෙහිදැ”යි ඇසීය. “ඔබ වහන්සේ මෙහි වසන විට අමනුෂ්‍යයෝ ඔවුනොවුන් හා සමගියෙන් වෙසෙත් ඔබ ගිය විට ඔවුහු නැවත කලහ කරන්නාහ. නපුරු වචන කියන්නාහ”යි කීය. “ඉදින් මා නිසා තොපට සැනසීමක් ලැබේ නම් මම තවත් කලක් මෙහි නවතින්නෙමි”යි කියා තවත් සාරමසක් වසන්ට සැරසෙන විට දේවතාවා නැවතත් හඬන්ට පටන් ගති. ඒ වරත් තෙරනම ගමන නැවැත්වීය. මේ ක්‍රමයෙන් එතුමන් යන්ට සැරසුණු හැමවිටම දේවතාවන් විසින් නවත්වනු ලැබූ බැවින් එතුමා එහිම වැස පිරිනිවියේ ය. මේ ස්ථවිරතුමා මෛත්‍රී විහාරී වූ බැවින් දෙවියෝ එතුමාට මෙසේ ප්‍රිය කළහ. (මේ කථාව විශුද්ධිමාර්‍ගයේ මෙත්තාභාවනාකථාවෙහි එයි.)