34. තිස්සභූති මහාස්ථවිර

(වලගම්බාරජු කල.)

කල්ලගම - මණ්ඩලාරාමයෙහි[1] විනය ඉගෙන ගන්නා තිස්සභූති නම් තෙරනමක් විය. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන එතුමාට ස්ත්‍රියක් දැකීමෙන් ඇල්මක් ඇති විය. එකෙණෙහි තමාගේ පාත්‍රයෙහි තිබුණු කැඳ උපස්ථායක නමගේ පාත්‍ර‍යට වත්කොට මේ විතර්‍කය වැඩෙන්නේ මට අනර්‍ථ පිණිස පවත්නේය”යි සිතා ආචාර්‍ය්‍යයන් සමීපයට ගොස් වැඳ “ස්වාමීනි, මට රෝගයක් උපන්නේය, ඉදින් එය දුරුකරගත හැකි වුවොත් හැරී එන්නෙමි. නොහැකිවූවොත් නො එන්නෙමි. ඔබ වහන්සේ අද දාවල් ඉගැන්වීමත් හවස ඉගැන්වීමත් මා සලකා නැවැත්තුව මැනව; හෙට උදෑසන ඉගැන්වීම නො නැවැත්තුව මැනවැ”යි කියා මලයවාසී මහාසංඝරක්ඛිත තෙරුන් වෙත ගියෙය්. ඒ අවස්ථාවෙහි තමාගේ පන්සලේ ගොම පිරිබඩකරමින් සිටි තෙරණුවෝ තිස්සභූති තෙරුන් දෙස නො බලාම “පාසිවුරු තැන්පත්කරව”යි කීහ. “ස්වාමීනි, මට රෝගයක් ඇත. එයට පිළියම් කළ හැකි නම් පාසිවුරු තැන්පත් කරන්නෙමි”යි කීවිට “පිළියමට සමර්‍ථයකු වෙත ආවෙහි, තැන්පත් කරව”යි තෙරණුවෝ කීහ. තිස්සභූති තෙර පාසිවුරු තැන්පත් කොට තෙරුන් වැඳ හුන්විට මහතෙරනම මේ තෙම රාගචරිත ඇත්තෙකැයි දැන අශුභකමටහනක් දුන්හ.

ඉක්බිති හෙතෙමේ එහි එද්දී සලකා ගෙන තිබුණු ඇද්දෙමට ගසක්මුලට ගොස් හිඳගෙන අශුභකමටහන පාදකකොට විදසුන් වඩා රහත්ව පසුදා අලුයම ඉගෙනීමට මණ්ඩලාරාමයට ගියේය. (මේ කථාව අංගුත්තර එකනිපාත අටුවාහි (22) එයි.)

මැඳුම්සඟි අටුවාහි සබ්බාසවසූත්‍ර‍වර්‍ණනාවෙහි මීට මදක් වෙනස් ලෙස මෙය දැක්වේ. විසභාග අරමුණ දැක ලෝභය උපන් විට එතැනදීම විදර්‍ශනාවෙන් එය යටපත්කළ නමුත් රාත්‍රී සිහිනයෙන් ඒ අරමුණ පෙනුණුවිට “මෙය වැඩෙන්නේ මා අපායට හෙළන්නේය”යි සිතා ගුරුවරයාගේ අවසරගෙන මහාසංඝරක්ඛිත තෙරුන්වෙත ගොස් කමටහන් ගෙන පඳුරු අතරට පිවිස පාංශුකූල සිවුර අතුරා හිඳගෙන අනාගාමි මාර්‍ගයෙන් කාමරාගය සිඳ එයින් නැගිට පසුදා උගන්වන තැනට ආයේ යයි එහි පෙනේ.

මේ තිස්සභූති තෙරුන් පසුකලක මණ්ඩලාරාමයෙහි සංඝස්ථවිරව විසූ බව යට දැක් වූ මහාසෝණතෙරුන්ගේ කථාපුවතින් පෙනේ. බැමිණිතියාසාය ඉක්මෙන විට එතුමා වයොවෘද්ධ මහ තෙරනමක්ව සිටියේය යි එයින් පිළිගත යුතුය.

අට්ඨසාලින අටුවාහි නිදාන කථාවෙහි අභිධර්‍මයේ නිදානය ගැන කරුණු (කියමින් මණ්ඩලාරාමවාසී තිස්සභූති ස්ථවිරතුමන් වනාහි පදෙසවිහාර සූත්‍ර‍ය ගෙනහැර දක්වා අභිධර්‍මය මහාබෝධිය නිදානකොට ඇත්තේය යි ප්‍ර‍කාශකළ බව දැක්වේ. මෙයින් පෙනෙන්නේ මෙතුමා අතිප්‍ර‍කටවූ ද පූජ්‍යවූ ද ආචාර්‍ය්‍යවරයකුව සිටි බවයි.

  1. වට්ටාරම