50. ලොමසනාග මහතෙර

සෑගිරියේ පුවඟු ගුහාවෙහි වූ පධානඝරයෙහි විසූ ලෝමසනාග තෙරනම කමටහන් වඩන්නේ ලොකාන්තරික නරකය සිහිකොට අන්තරාෂ්ටක හිමපාතසමයෙහි[1] නිරාවරණ තැනක කල් යැවීය. එසේම උෂ්ණකාලයේ මධ්‍යාහ්නයෙහි ඩහදිය වගුරුවමින් අභ්‍යවකාශයෙහි හුන්නේ ය. එසේ හුන් තෙරුන් දුටු අතවැසි නමක් “ස්වාමීනි, මේ සිසිල්තැන වැඩහුන මැනවැ”යි කීවිට “අවැත, මම උෂ්ණයට භයින්ම මෙතැන හිඳිමි”යි කියා එතැනම හුන්නේය. (මෙය මැඳුම්සඟි අටුවාවේ සබ්බාසවසුත්තවණ්ණනාවෙහි එයි.)

  1. උඳුවප් මාසේ අග සතර දිනක්ද, දුරුතු මාසේ මුල සතර දිනක් ද යන මේ අට දවසයි. මේ කාලය මුළු අවුරුද්දේ අධික ශීත ඇති දවස් ලෙස සලකනු ලැබේ.