48. අරිය කෝටිවාසී මහාදත්ත මහතෙර

මැඳුම්සඟි අටුවාහි ආකංඛෙය්‍ය සූත්‍ර‍වර්‍ණනාවෙහ (131) මේ කථාව පෙනේ:- අරියකෝටිවාසී මහාදත්ත ස්ථවිරතුමා ගමනක් යන්නේ අතරමගදී භාවනාවට යෝග්‍ය වනයක් ද ැක මාර්ගයෙන් ඉවත් ව ගසක්මුළ සඟළ සිවුරු එළා පලඟ බැඳ වැඩහුණි.

ඒ ගසේ වසන රුක්දෙවියාගේ දරුවෝ තෙරුන්ගේ සිල් තෙදින් බියව හඬන්ට පටන් ගත්හ. දේවතාවා මුළු ගස කම්පාකරවීය; තෙරණුවෝ නිශ්චලව හුන්හ. දේවතාවා ගසෙන් දුම්පිටකර වීය. එයිනුත් තෙරුන් කම්පා කරවන්ට නොහැකි වූ විට ගිනිදැල් පිට කරවිය. එයිනුත් පලක් නොවූ විට උපාසකයකුගේ වෙසින් අවුත් තෙරුන්ට වැන්දේ ය. “මේ කවරෙක්දැ”යි තෙරුන් ඇසූවිට “මම මේ ගසේ අධිගෘහිත දෙවියා වෙමි”යි කීය. “මේ විකාර තා විසින් කරන ලද්දැ”යි ඇසූවිට “මාගේ දරුවන් බිය වූ බැවින් ඔබ වහන්සේ පලවා හැරීම පිණිස එසේ කෙළෙමි”යි කීය. මුලදීම “අපට අපහසු නිසා මෙතැනින් ඉවත්වුව මැනවැ”යි කියන ලද නම් මම ඉවත් වන්නෙමි. දැන් වනාහි “මහදත්ත ස්ථවිරතුමා අමනුෂ්‍යයන්ට බියව ගියේය”යි කථාවක් ඇතිවන බැවින් තා කීවත් මම නොයමි. අද මෙහිම වසමි. තෝ අද කොතැනක හෝ වාසය කරව”යි තෙරනම කීය.