සැට හවුරුද්දක් කුරණ්ඩකලෙණෙහි [1] විසූ චිත්තගුත්ත ස්ථවිරතුමා ඒ ලෙණතුළ බිත්තිවල ඇඳ තිබුණු සත් බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණයන් පිළිබඳ මනෝඥ සිතියම් කිසිවිටෙකත් නො බැලුවේය. ලෙණදොර අසළ තිබුණු නාගසේ මල් පිපී බිම වැටුණු විට මල් පිපුණු බව දැන ගත්තේ ය. රජතුමා [2] තෙරුන්ගේ ගුණ කථාව අසා තෙරුන් වඳිනු කැමතිව තුන්වරක් දූතයන් යවාත් ගෙන්වා ගත නොහැකිව ලෙණ අවට ගම්වල ළදරුවන් ඇති මවුවරුන්ගේ පයෝධරයන් බන්දවා සීල්තබ්බවා තෙරුන් නුවරට වඩින කල් ළදරුවන්ට කිරිබොන්ට නො ලැබෙන්නේ යයි ප්‍රකාශයක් කරවීය. තෙරණුවෝ එය අසා ළදරුවන්ට අනුකම්පාවෙන් මාගම්පුරට වැඩියාහ. රජ තෙරණුවන් රජමැදුරට ගෙන්වා දන් දී පිටත වඩින විට මෙහෙසියත් සමග පසු ගමන් කොට නැවතුණේ ය. මෙසේ සත්දිනක් දන් දුන් පසුත් රජු වඳින විට ද මෙහෙසිය වඳින විට ද තෙරණුවෝ “මහරජ සුවපත්වේවා”යි කීහ. සෙසු භික්‍ෂූන් විසින් “රජු වඳින විටත් මෙහෙසිය වඳින විටත් මෙසේ කීමට හේතුව කවරේදැ”යි විචාළ විට “ඇවැත්නි, රජ යයි හෝ මෙහෙසිය යයි හෝ වෙන්කොට හැඳින ගැනීම් මට නැතැ”යි කීහ. ඉක්බිති රජ තෙරුන්ට එහි විසීම අපහසුය යි සලකා කරඬුලෙණටම පිටත් කොට යැවීය. ඒ පැමිණි දා රාත්‍රි පර්‍වතය කම්පා කරවමින් එතුමා රහත්ඵලය ලැබීය. (මේ කථාව විශුද්ධිමාර්‍ගයේ ශීලනිර්‍දෙශයෙහි පෙනේ.)
විශුද්ධිමාර්‍ගයෙහි ම තේජෝකසිණ නිද්දෙසයෙහි චිත්තගුත්ත නම් තෙරනමක් බණ කියන දිනක පෝය ගෙට ඇතුල්ව පහන් සිළ බලාසිටිය දී එතුමාට තේජෝකසිණ නිමිත්ත උපන්නේ යයි දැක්වේ. එහිම පීතකසිණ නිද්දේසයෙහි සිතුල්පව්වෙහි විසූ චිත්තගුත්ත නම් තෙර නමකට පතඟිමල් පිදූ මලසුනක් දුටු විගස මල් ආසනය පමණ පීතකසිණ අරමුණ උපන්නේය යි කියවේ.