56. මිලක්ඛතිස් මහතෙර

රුහුණුරට ගාමෙණ්ඩවාල මහාවිහාරයට නුදුරු ගමක වැදි කුලයක උපන්නෙක් දිනපතා මලපුඩු සියයක් ද උගුල් සියයක් ද අටවමින් සතුන් මරා ජීවිකාව කෙළේය. එක් දිනක් මුවකු මරා වනයේදීම මස් කොට අඟුරුමත තබා පුලුස්සා ඒ මස් කා පිපාසිතව ගාමෙණ්ඩවාල විහාරයට ගියේ එහි තිබුණු කළ දශයකම පැන් නොදැක “මෙපමණ භික්‍ෂූන් වසන තැන කළවල බීමට පැන් ටිකක් නැතැ”යි භික්‍ෂූන්ට දොස් නැඟීය. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරතුමාට ඔහුගේ කථාව ඇසී පැන්හලට ගොස් කළ දශයක් ජලයෙන් පිරී තිබෙන බව දැක “මේ තෙමේ ජීවමානව ප්‍රේතයෙක් විය”යි “උපාසකය, ඉදින් පැන් බොනු කැමැත්තෙහිනම් බොව”යි කියා කළය ඔසවා ඔහුගේ අත්වල ජලය වත් කෙළේය. ඔහුගේ අකුශල කර්‍මය නිසා මුළු කළයක දියබීත් පිපාසාව නො සන්සිඳුණි. ඉක්බිති ඉතිරි කළවල ජලයත් බොන්ට දුන් නමුත් එයිනුත් ඔහුගේ පවස නොසන්සිඳුණේය. එවිට තෙරනම “උපාසකය, තාගේ කර්‍මය ඉතා බලවත්ය; මෙලොවදීම ප්‍රේතයෙක් විය. පරලොවදී ලබන දුක් කෙතරම් වෙත්දැ”යි කීය. එයින් සංවේගයට පත් හෙතෙමේ තෙරුන් වැඳ ගොස් උගුල් ආදිය විනාශ කොට ඉක්මනින් ගෙදරට ගොස් ශස්ත්‍රාදිය ද බිඳ දමා සිරකොට සිටි සතුන් ද මුදා හැර තෙරුන් වෙත එළඹ මහණකම ඉල්විය. තෙරනම අනුකම්පාව නිසා ඔහු පැවිදි කරවීය. අප්‍ර‍මාදීව වත්පිළිවෙත් කරන හෙතෙම ධර්‍මය ද ඉගෙන ගත්තේ ය. එක් දිනක් දේවදූත සූත්‍ර‍ය උගනිමින් “තමෙනං භික්‍ඛවෙ නිරයපාලා පුන මහානිරයෙ පක්‍ඛිපන්ති” යන වාක්‍යය අසා “ස්වාමීනි, මහානරකය නම් ඉතා බැරෑරුම් තැනකැ”යි කීය. “එසේය ඇවැත්නි”යි තෙරුන් කීවිට “ස්වාමීනි, එය බැලිය හැකිදැ”යි ඇසීය. “එය බැලිය නොහැක එහි දරුණු බව ප්‍ර‍ත්‍යක්‍ෂ කරගත හැකිවන සේ එක්කාරණයක් පෙන්විය හැකැ”යි කියූ තෙරනම “සාමෙණ්රවරුන් හවුල් කරවා ගෙන ගලක් මතුපිට අමුදර ගොඩක් සෑදිය යුතුය”යි කීය. ඒ පැවිදි තැන එසේ කරවූ විට තෙරනම සෘද්ධිබලයෙන් කණමැදිරියකු පමණ වූ ගිනිපුපුරක් අවුත් ඒ දරසෑය මත වැටෙන්ට සැලැස්විය. මොහොතක දී දරගොඩ දැවී අලුවිය. ඒ දැක සංවේගයට පත් භික්‍ෂුනම තෙරුන් ගෙන් කමටහනක් ලබාගෙන නො පසුබටව භාවනාවෙහි යෙදුණි. හෙතෙම වත් පිළිවෙත් පිරීමද අත්නොහැර වරින් වර සිතුල්පව් මහාවිහාරයෙහි ද ගාමෙණ්ඩවාල මහාවිහාරයෙහි ද කතරගම මහාවිහාරයෙහි ද වතාවත් කෙළේය. රාත්‍රියෙහි නිදිමත එන විට තෙමූ පිදුරු ගුලියක් හිසමත තබාගෙන පාදෙක දියේ ඔබාගෙන නිදිමත දුරු කෙළේය. එක්දිනක් සිතුල්පව් විහාරයෙහි වතාවත්කොට පශ්චිමයාමාවසානයෙහි නිදිමත ආ විට තෙත් පිදුරුගුළිය හිසමත තබාගෙන හුන්නේ ඒ විහාරයේ නැගෙනහිරි පර්‍වතය අසල සාමණේරනමක් :-

“ආරභථ නික්‍ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ

ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”

යන අරුණවතිය සූත්‍රයේ ගාථාව කියනු ඇසී ඒකාන්තයෙන් මා වැනි වීර්‍ය්‍යවත් භික්‍ෂුවක් උදෙසා බුදුරදුන් විසින් මේ ගාථාව දෙසන ලදැයි ප්‍රීති උපදවා ධ්‍යාන ලබා එය පාදක කොට රහත්ඵලය ලැබීය. එතුමන් පිරිනිවෙන කල්හි භික්‍ෂූන් විසින් රහත් වූ සැටි විචාළ විට:-

“අල්ලං පලාලපුඤ්ජා හං සීසෙනාදාය චඞ්කමිං;

පත්තො” සමි තතියං ඨානං; එත්‍ථ මෙ නත්‍ථි සංසයො”

යන ගාථාව කියා තමන් රහත් වූ සැටි විස්තර කෙළේය. (මෙය අංගුත්තරඑකනිපාතවණ්ණනාවෙහි (22) එයි.

ඛන්‍ධසංයුත්ත අටුවාවෙහි (ii, 199) ද මේ කථාව පෙනේ. එහි විහාරයේ නම හෝ ප්‍රදේශයේ නම නොදැක්වේ. එක් දිනක් මුව මස් කා පැන්බීම සඳහා වනවැසි භික්‍ෂුනමකගේ වාසස්ථානයකට ගියේය යි ද එහි පිරවූ පැන්කළයක් තිබුන නමුත් ඔහුට එය හිස් කළයක්සේ පෙනුණේය යි ද, තෙරනම ඔහුට හක්ගෙඩියක වත්කොට ජලය දුන් නමුත් පිපාසාව සන්නොසිඳීම නිසා කලකිරී ඒ තෙරුන් වෙත පැවිදිවීය යි ද කියවේ. ඔහු කමටහන් වඩන්ට ගියවිට සතුන් මැරූ තැන් හා උගුල් ආදිය පෙනෙන්ට වී ශරීරයෙහි දාහයක් හටගත් බැවින් සිත එකඟකළ නොහැකි විය. එහෙයින් මහණකමෙන් පලක් නැතැයි සිතා ගිහිවෙන්ට කැමති වූ හෙතෙම තෙරුන් වෙත ගොස් ඒ බව දැන්වීය. තෙරනම ඔහුට යම්කිසි හස්ත කර්‍මාන්තයක් කරවයි කියා අත්තික්කා ආදි අමුගස් කපා ගොඩක් ගසවයි කීය. එසේ කොට “ස්වාමීනි, දැන් කුමක් කරන්නෙම්දැ”යි විචාළ විට “ඒ දරගොඩට ගිනිදැල්ව ව”යි කීය. සතර පැත්තෙන් ගිනිදල්වා ඒ අමුදර පුලුස්සන්ට නොහැකි වූ හෙතෙම ඒ බව තෙරුන්ට දැන්වීය. තෙරනම එතැනින් ඉවත් වෙවයි ඔහුට කියා අවීචියෙන් කදෝ පැණියකු පමණ ගිනිපුපුරක් අවුත් එහි වැටෙන්ට සැලැස්වීය. මොහොතක දී එය දාගියේය. එවිට තෙරනම “ඉදින් සිවුරු හරින්නෙහි නම් මෙවැනි දරුණු ගිනි ඇති නරකයෙහි උපදින්නෙහිය”යි කීය. එවිට ඒ පැවිදි නම තෙරුන්ගෙන් කමටහන් ගෙන පෙර කීසේ උත්සාහවත්ව භාවනාවෙහි යෙදුනේ එක් තෙරනමක් සාමණේර නමකට කිය වූ:-

“උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො

සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති”

යන ගාථාව අසා එය තමා කෙරෙහි එළවා විදසුන් වඩා අනාගාමී ඵලය ලැබුවේය යි එහි කියවේ.