5. කාළවල්ලිමණ්ඩපවාසී මහානාග මහතෙර

(කාවන්තිස්ස රජු කල)

මුන්වහන්සේ තලගුරු වෙහෙර ධම්මදින්න මහතෙරුන්ට සමකාලිකයයි රසාවාහිනී - මහාවංසටීකා යන පොත් දෙකෙන් පෙනෙන බැවින් කාවන්තිස්ස කාලයෙහි විසූහයි පිළිගතයුතු වේ. මේ කාළවල්ලිමණ්ඩපය (=කළුවැල්මඩුව)[1] රුහුණේ පිහිටිබව අංගුත්තර තිකනිපාත අටුවා (384) වෙන් පෙනේ. එහි තිබෙන මෙතුමන් සම්බන්ධ පුවත මෙසේ යි:- පැලලුප් නුවර දොරටු ශාලාවක හුන් බමුණෝ දෙදෙනෙක් කාලවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරුන්ගේ ගුණ කථාව අසා එතුමන් දැක දන් දෙනු කැමතිව ලක්දිවට එන්ට පිටත් වූහ. ඉන් එක් අයෙක් අතරමගදී මළේය. අනිකා නැව්නැගී අවුත් මාතොටට ගොඩබැස අනුරාධපුරයට පැමිණ “කාළවල්ලිමණ්ඩපය කොහිදැ”යි විචාළේය. රුහුණේ යයි කී විට එහි ගොස් චුල්ලනගරය (සුලුන්නරුව)ට පැමිණ එගම්හි ඉදිරියෙහිම තිබෙන ගෙයි නැවතී තෙරුන්ට දන් පිළියෙල කොට උදෑසනම නැගිට තෙරුන් වසන තැනට ගොස් පිරිස් කෙළවර සිට දුරදී තෙරුන් දැක එතැනදීම වැඳ නැවත සමීපයට ගොස් දෙපා අල්වා වැඳ “ස්වාමීනි, ඔබ ඉතා උස්වෙති”යි කීය. එසේ කීයේ එතුමාගේ ශරීරයට උස් නිසා නොව ගුණය උසස් බැවිනි. ඒ ගුණකීර්තිය මූදෙන් එතර පාටලීපුත්‍ර‍ය දක්වා පැතිර ගියේ ය. හෙතෙම තෙරුන්ට දන් පිළිගන්වා තුන් සිවුරු සපයාගෙන තෙරුන් වෙත පැවිදිව පසුකලක රහත්විය.

අට්ඨසාලින අටුවාහි නික්ඛේපකණ්ඩවණ්ණනාවෙහි මේ කථා පුවත එයි:- බුත්තල (=භූත්තසාල) ගම සොරුන් පැහැරූ කල්හි නිරොධසමවතෙන් එකෙණෙහි නැඟී සිටි එක් තෙරණියක් භික්‍ෂුණියක් ලවා බඩු ගෙන්වා ගෙන මිනිසුන් සමඟ මගට බැස නකුලනගර[2] ගම් දොරට පැමිණ ගසක් මුල හුණි. කළුවැල්මඩුවේ මහානාගතෙර පිඬු පිණිස එන්නේ ඒ තෙරණියන් දැක මධ්‍යාහ්නය ළංව තිබුණු බැවින් බතින් විචාළේය. “මට පාත්‍ර‍යක් නැතැ”යි ස්ථවිරිය කී විට “මෙහිම අනුභව කළ මැනවැ”යි කියා පාත්‍ර‍ය සමඟම පිණ්ඩපාතය දුනි. බත්කිස නිම වූ ස්ථවිරිය පාත්‍ර‍ය සෝදා දී “මින් පසු ඔබට භික්‍ෂාවෙහි හැසිරීමෙන් වෙහෙස විඳින්ට සිදු නොවන්නේ ය”යි කීය. එතැන් පටන් තෙරණුවන්ට අඩකහවණුවකට වැඩි වටිනාකම ඇති පිණ්ඩපාතයක් නිරායාසයෙන් ම ලැබුණි.

මෙතුමා ගතපච්චාගතවත පුරමින් පළමුකොට බෝසතුන්ගේ මහාප්‍ර‍දහනයට පුදමියි සිතා සත්හවුරුද්දක් සිටීමෙන් හා සක්මනෙන් ගත කළහ. ඉන්පසුත් 16 අවුරුද්දක් ඒ වත පුරා රහත් විය. පිඬු පිණිස ගමට ඇතුල්වන එතුමා කච්ඡක විලෙන් ජලය ගෙන මුඛය පුරවාගෙන යයි. කුමක් සඳහා ද? මිනිසුන් වඳින විට “දීර්‍ඝායුෂ්ක වෙත්වා”යි කියන පමණිනුත් තමාගේ භාවනාව කඩ නොකරන පිණිසය. මේ පුවත දික්සඟි අටුවාහි (132) සාමඤ්ඤඵලසුත්තවණ්ණනාවෙහි ද විභංග අටුවාහි (247) ඣානවිභංග නිද්දෙසයෙහි ද මැඳුම්සඟි අටුවාහි සතිපට්ඨානවණ්ණනාවෙහි ද එයි.

  1. “කල්ලතාපව්ව” යයි සද්ධර්‍මාලංකාරයෙහි ද “කප්පගිකාගපබ්බත මහාරය”යි රසවාහිනියෙහි ද පෙනේ.

  2. කාවන්තිස්ස රජු නකුලඋපාසකයාට දුන් ගම විය යුතුයි. වර්‍තමාන “නාකුළුගමුව” යයි සැලකිය හැක.