115. සාවකු ඇල්ලූ චක්කනයා

සංයුත් අටුවාහි ධාතුසංයුත්තවණ්ණනා (ii, 112) වෙහි මේ කථාව පෙනේ:- සිංහල ද්වීපයෙහි චක්කන නම් උපාසකයා බාලකල ඔහුගේ මවට රෝගයක් වැලඳුණි. ඒ සඳහා අමු හා මස් ලැබිය යුතු යයි වෙදා නියම කෙළේය. චක්කනගේ සහෝදරයා ඔහුට කථා කොට “කුඹුරට ගොස් හාවුන් සොයා බලව”යි කීය. චක්කන කුඹුරට ගිය විට එහි ලා ගොයම් කමින් සිටි එක් හාවෙක් ඔහු දැක දුවන්නේ වැලක පැටලී “කිරි, කිරි” යයි ශබ්ද කෙළේ ය. චක්කන එතැනට දුව ගොස් ඌ අල්ලා ගෙන මවට බෙහෙත් සඳහා ගෙනයන්ට සිතා නැවත “මවගේ ජීවිතය සඳහා අනිකකුගේ ජීවිතය නැති කිරීම නො වටී” යයි සිතී හාවා මුදා හැර හිස් අතින් ගෙට ගියේ ය. සොහොයුරා විසින් විචාරණ ලදින් මේ සියලු පුවත් කී විට හෙතෙම ඔහුට බැණ වැදුණි. චක්කන තෙමේ මව සමීපයට ගොස් “මම උපන්තැන් පටන් දැන දැන සතකු ජීවිතයෙන් තොර නො කෙළෙමි”යි සත්‍ය ක්‍රියා කොට මවගේ රෝගය සුවපත් කෙළේ ය. (මැඳුම්සඟි අටුවාවේ මූලපණ්ණාසසම්මාදිට්ඨිසුත්තවණ්ණනාවෙහි ද පෙනේ.)