විස්තරය
අනාදිමත් කාලයක් සසර සැරිසරමින්, ප්‍රමාණ කළ නො හැකි දුක් විඳිමින්, සසරින් එතර විය නොහැකිව, අසරණව සිටින, ප්රථග් ජනවූ අප හැම දෙනාටම අද ඇති එකම පිහිට බුදුරජාණන් වහන්සේ විසින් යහපත් කොට දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයයි. මේ ධර්මය හොඳ හැටි අසා ඉගෙන සිත්හි දරාගෙන, එහි වූ පරිදි අවංකව පිළිපැදීමෙන් අප කාගේත් නිෂ්ඨාවවූ අර්හත් ඵලයට පැමිණ සසරින් මිදෙනු මිස අන් මඟක් නැති බව අප විසින් පළමුකොට වටහා ගත යුතුව තිබේ.
අබුද්ධොත්පාද කාලයන්හි භව සම්පත් ලැබීමට උපකාර වන ධර්ම මාර්ග හා පිළිවෙත් ඇතිවන නමුත්, නිර්වාණ මාර්ග පිළිවෙත අසන්නටවත් ලැබෙන්නේ බුද්ධොත්පාද කාලයක පමණකි. එබැවින් මෙවැනි පර්‍ය්‍යාප්ති ශාසනය පවත්නා කාලයක ධර්මයෙන් ප්‍රයෝජනය නොගතහොත් දුකසේ ලබාගත් අපගේ මේ මනුෂ්‍යාත්ම භාවය නිෂ්ඵල වනු ඒකාන්තය. මෙයට පෙර බුද්ධොත්පාද කාල යන්හි රැස් කළ කුසල කර්මවල විපාක ශක්තිය අප හැමදෙනා තුළම පවතී. පින් නොමේරූ බැවින් පෙර ශාසන වලදී නිර්වාණ මාර්ගාවබෝධය කළ නොහැකි විය. මතු කාලයේදීවත් කෙලෙස් නසා සසරින් එතරවනු කැමැති පුද්ගලයන් විසින් දැන් දැන්ම ධර්මාවබෝධය පිණිස වීර්‍ය්‍ය කටයුතු. ශ්‍රද්ධා ආදී ගුණ වඩා, දාන-සීලාදී කුසල් කරමින්, සමථ විදර්ශනාදී චිත්ත භාවනා වඩමින්, අප්‍රමාදව විසිය යුතුයි. මාර්ගාවබෝධය පිණිසත් කෙලෙස් නැසීම පිණිසත් උපකාර නොවන අනවශ්‍ය ප්‍රශ්න මතුකොට, වාද විවාද ඇති කර මින් තර්ක කරමින් කල් නොයවා, නෛර්‍ය්‍යාණික වූ ශ්‍රී සද්ධර්මය හොඳ හැටි අවබෝධ කර ගැනීමට උත්සාහ කටයුතුයි. ධර්මය මනාව දැනගත් සැදැහැවතුන් විසින්ම ධර්ම රසය විඳිනු මිස ධර්මය නොදත්, නුවණ මද අයට එම රසය විඳිනු නොහැකිය.
මෙකල බොහෝ පින්වත්හු ධර්මය ඉගෙණීම යයි කියා බුද්ධා ගම පිළිබඳ ඉතිහාසයද, නොයෙක් චරිත කථා ආදිය ද කියවමින් තෘප්තියට පැමිණෙති. ඇතැම් අය ගැඹුරු ධර්මයෙන් අපට වැඩක් නැත. අපි පව් කරන්නෝ නොවෙමු නම්, අනුන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ නොකරන්නෙමු නම් එය ප්‍රමාණ වෙත් යයි සළකති. ශ්‍රද්ධා භක්ති පෙරදැරිව එසේ කළ හොත් ඇතැම් විට ඔවුන්ට ස්වල්පවූ භව සම්පත් විඳීමට හැකිවනු මිස එයට වැඩි ඵලයක් ලැබීමට නුපුළුවන. තවද, සමහරු මහජන සේවාවන්හි යෙදී, ගිලනුන්ට උපස්ථාන කිරීම, අනාථ වූවන් රැකීම, ග්‍රාමසංවර්ධන කටයුතු කිරීම, පත්පොත් මුද්‍රණය කොට ප්‍රචාරය කිරීම යනාදී නොයෙක් වැදගත් කටයුතු කරමින් කල් යවති. මේ කටයුතු ද මහත්ඵල මහානිසංස කර ගැණිමට නම්, කුසලා කුසල කර්මයන් පිළිබඳවත්, එහි විපාකත්, එය ලැබෙන සැටිත්, අකුසලයන්ගෙන් වෙන්ව ඤාණසම්ප්‍රයුක්ත කුසල් රැස් කරණ සැටිත්, නිවන් මඟට එම කුසල් යොදවන සැටිත්, මනාව ඉගෙණ ගත යුතුයි. තවද, ඇතැම් නුවණ ඇති පින්වතුන් ශ්රද්ධාසීලාදී යහපත් ගුණයන් වැඩීම පිණිසත්, ක්ලේශ ප්‍රහාණිය පිණිසත්, උත්සාහ නොකොට, නොයෙක් ලාභසත්කාර ගරු බුහුමන් උපාධි තනතුරු අපේක්ෂා කරමින් ධර්මය ඉගෙණීමෙහි යෙදෙති. ඔවුන්ද, ධර්මයෙන් නිසිඵල ලබන්නෝ නොවෙති. කාමයන් වඩවන, ඉන්ද්රියයන් පිනවන අරමුණුවල සිත් අලවන, නැටුම්, ගී කීම, වැයීම් විසුළු දැකුම්, සැරසීම් ආදී කුසල පක්ෂයෙන් ඈත් කොට අකුසල පක්ෂයට ම බරකරවන, කටයුතුවල යෙදීමෙන් සසර තරකර ගැනීමක් මිස එයින් මිදීමක් නම් නොලැබෙන්නේ ය. ධර්මය නොදත්, කායවාක් සංවරයෙහි නොපිහිටි, නොදැමුණු බෞද්ධ පිරිස් අතර, නොයෙක්, දුශ්චරිත හා දාමරික ක්‍රියා ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මේ ආදී නොයෙක් කරුණු සළකා ධර්ම මාර්ගය කුමක්දැයි සොයාගැණීමට උත්සාහ කටයුතුයි.
ප්‍රතිවේධය හෙවත් මාර්ගඵලාධිගමය පිණිස අවශ්‍ය ධර්ම තුනෙකි. එනම් ශීල සමාධි ප්‍රඥා යන තුනයි. කායවාක් සංවරය මනාකොට ඇතිකර ගැණීමට ඉවහල්වන, සිව් පිරිසිදු සිල් පරම කොට ඇති, කුදුමහත් සීලයන්, තම සිත් සතන්හි ඇති කොට, ශීල විසුද්ධියෙන් යුක්තව, සම්මාවාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධ මාර්ගාඞ්ගයන් පළමු කොට වැඩිය යුතුවේ. මෙසේ පිරිසිදුව අධිශීලයෙහි පිහිටා, චිත්ත භාවනා පිණිස වීර්‍ය්‍යය කටයුතුවේ. සමථ විදර්ශනා භාවනා යුගනඞ්ගව වඩමින් අධිචිත්ත සංඛ්‍යාත සමාධියට පැමිණිය යුතුයි. මෙසේ වැඩීමෙන් සම්මාවායාම සම්මා සති සම්මා සමාධි යන ත්රීවිධ මාර්ගාඞ්ගයන් ඇති කරගත යුතුයි. මෙසේ ශීල සමාධි දෙකින් යුක්තව යම් විදර්ශනා ප්‍රඥාවක් ලැබීම පිණිස වීර්‍ය්‍යය කරන්නේ නම්, ඕහට ක්‍රමයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය පිළි බඳ ඤාණය වූ සම්මාදිට්ඨිය සහ සම්මාසඞ්කප්ප යන මාර්ගාඞ්ග දෙක සම්පූර්ණ වන්නේ ය. මෙසේ කෙලෙසුන් ගේ සමුච්ඡෙද ප්‍රහාණිය පිණිස උවමනා මාර්ගාඞ්ග අට, මේ ක්‍රමයෙන් වඩා, අපගේ නිෂ්ඨාව වූ අර්හත් ඵල සම්පත්තියට පැමිණෙනු මිස, මෙයට වෙනස් පිළිවෙතක් මේ ශාසනයෙහි නැත. එබැවින් අප හැමදෙනා විසින්ම මේ ඒකායන මාර්ගය වැඩීම පිණිස නුවණත් වීර්‍ය්‍යයත් යෙදිය යුතු.
ධර්මය පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් ඇතිකර ගැනීම පිණිස, එය ක්‍රමානුකූලව ඉගෙනීම කළයුතු වේ. එසේ ඉගෙන ගනු කැමැති පින්වතුන්ගේ ශ්රද්ධාවත් ධර්මඥානයත් ක්‍රමයෙන් වැඩෙන අන්දමට සංක්ෂෙපයෙන් පිළියෙල කරන ලද මේ පොතට ඇතුළත් ධර්මය වෙනත් දහම් පත්පොත් කියවීමෙන්, නැවත නැවත කියවීමෙන්, නිතර භාවිතා කිරීමෙන්, ධර්මධර ගිහිපැවිදි උතුමන් ආශ්රයකිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, දියුණු කරගත යුතු. රැකී රක්ෂා ගේදෙර කටයුතු බහුල ගිහියන්ට, ධර්මය ඉගෙනීම පිණිසත් භාවනාදීයෙහි යෙදීම පිණිසත්, ඇති විවේකය ඉතා ස්වල්ප බැවින්, මෙය ඉතා දුකසේ කළ යුත්තකි. තම තමන්ට අයත් වැඩ කටයුතු, යුතුකම් ආදිය නොපිරිහෙලා ඉටු කරමින්, මෙලෝ දියුණුවත් සලසා ගනිමින් පරලොව දියුණුවටත් සසරින් මිදීමටත්, උපකාර වන දහම් පිළිවෙතෙහි යෙදීමට කෙසේ නමුත් අවකාශ ලබා ගත යුතු.
දැන් අප විසින් කියා දෙන්නට අදහස් කරන ධර්මය පිළිබඳව සුළු විස්තරයක් කිරීම කාලෝචිතයයි සිතමි.
අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර වදාළ පර්‍ය්‍යාප්ති ශාසනය නම් වූ ධර්ම විනය, පිටක වශයෙන් තුනකි. එනම් විනය පිටකය, සූත්‍ර පිටකය, සහ අභිධර්ම පිටකයයි. එයින් හික්මීම පිළිබඳව දේශනා කළ ශික්ෂා පිළිවෙත් ආදිය විනය පිටකයට ඇතුළත් වේ. සම්මුති දේශනා වශයෙන් ඒ ඒ තැන්හි නොයෙක් පුද්ගලයන් අරභයා, ලෝකව්‍යවහාරය නොයික්මවා දේශනා කළ ධර්ම සමූහය සූත්‍ර පිටකයට ඇතුළත් වේ.
ලෝක ව්‍යවහාරයට හාත්පසින් වෙනස්වූ, කුසලා කුසල ස්කන්ධ, ධාතු ආයතන ආදී වශයෙන් පරම සත්‍යය හෙවත් පරමාර්ථ ධර්ම වශයෙන් දේශනා කළ ධර්ම සමූහය, අභිධර්ම පිටකයට ඇතුළත් වේ. මෙසේ චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධයට උපකාර වන, මාර්ග ප්‍රතිපදාව සඳහා මේ ධර්ම සමූහය මැනවින් ඉගෙන ගතයුතු වේ. විශේෂයෙන් අප විසින් අදහස් කරන්නේ අභිධර්ම පිටකයට අයත් මූලික ධර්ම හෙවත් පරමාර්ථ ධර්ම පිළිබඳව ඉතා සංක්ෂෙප විස්තරයකි. මේ ධර්මයන් ස්වල්ප වශයෙන් වත් නොදැන, ධර්මාර්ථ වටහා ගැනීම අති දුෂ්කරය. සූත්‍ර දේශනාවන්හි ප්‍රකාශ වන ධර්මයන් තේරුම් ගැනීමට සහ විදර්ශනා භාවනා කිරීමෙන් නිසිඵල ලැබීමටද මේ ධර්මඥානය අවශ්‍යවේ. එබැවින් මේ ධර්ම විස්තරය හොඳ හැටි ඉගෙනීමට උත්සාහ කට යුතු.
බුද්ධ වචනය හෙවත් බුද්ධ දේශනාව සම්මුති දේශනා පරමාර්ථ දේශනායයි දෙකොටසකට බෙදිය හැකිවේ. සත්ත්ව පුද්ගල, ස්ත්‍රී පුරුෂ, වෘක්ෂ ලතා, පෘථිවි, පර්වත, ගංගා, සමුද්‍ර ආදී වශයෙන් ප්රඥප්තිය, ලෝකව්‍යවහාරය, නොයික්මවා, ඒ ඒ පුද්ගලයන්හට පහසුවෙන් ධර්මාවබෝධය වන පිණිස වදාළ දේශනා සම්මුති දේශනා නම් වේ.
ලෝකයා විසින් ව්‍යවහාර කරන ඒ ඒ දේ පිළිබඳව ඇති තත්වය, සැබෑ තත්වය හඳුන්වන, ස්කන්ධ, ධාතු ආයතන ආදී වශයෙන් ඒකාන්තයෙන් ම විද්‍යාමාන වූද සත්‍යවූද, තමන්ට අයත් ස්වභාවයෙන් අන් ස්වභාවයකට වෙනස් නොවන, උතුම් අර්ථ නම් වූ පරමාර්ථ ධර්ම දක්වා වදාළ දේශනා පරමාර්ථ දේශනා නම් වේ.
මනුෂ්‍යයා යයි කියන විට, රූප දැකීමට ඇස් දෙකකුත්, ශබ්ද ඇසීමට කන් දෙකකුත්, ගඳ දැනීමට නාසයකුත්, රස දැනීමට දිවක් සහිත මුඛයකුත්, ස්පර්ශය දැන ගැනීමට හැකි වන ශරීරයකුත් ඇති, හිසක් සහ අත් පා සහිත කඳක් ඇතිව, කථා කිරීම් ඇවිදීම් ආදී නොයෙක් ක්‍රියා කළ හැකි, ජීවත්වන, නොයෙක් දේ දැන ගන්නා සිතකුත්ඇති, අවයව රාශියකින් යුක්ත, කෙනෙක් බව දැනගනී. සම්මුතිය වශයෙන් මෙකී අවයව රාශිය එක් කළ විට මනුෂ්‍යයා යයි කියන නමුත්, මේ අවයවයන් වෙන් වෙන් වශයෙන් ගත් විට මනුෂ්‍යයා යයි කීමට කිසිවක් නැත. ඇස් කන් නාසාදී අවයවයන් නැවතත් වෙන් වෙන්ව පරීක්ෂා කළ විට, එය ද නොයෙක් සූක්ෂම වූ ද්‍රව්‍ය රාශියකින් යුක්ත බව පෙනේ. මෙකී සූක්ෂම වූ ද්‍රව්‍යයන් ද නැවතත් පරීක්ෂා කළ විට, ඇසට පවා නොපෙනෙන ද්‍රව්‍ය රාශියකින් යුක්ත බව වැටහේ. මෙකී ඇසට නොපෙනෙන අති සූක්ෂම වූ ද්‍රව්‍ය යන් යයි සළකන දෙයත්, බෙද වෙන්කොට දත හැකි වේ. මෙය මනුෂ්‍ය ඥානයට තබා දිව්‍ය ඥානයටවත් නොවැටහෙන, සර්වඥතා ඥානයෙන්ම දැන වදාළ, මූලාර්ත්ථ නම් වූ පරමාර්‍ත්‍ථ ධර්ම රාශියකි. මෙකී පරමාර්‍ත්‍ථ ධර්ම සමූහය, ඇසින් දැක්ක නොහැකි, අද්‍රව්‍ය වූ ක්‍රියා විශේෂයෙකි. මෙසේ සලකන විට මනුෂ්‍යයා යයි කියනු ලබන්නේ නාම රූප සමූහයක් මුත්, අන් කිසිවක් නොවන බව ධර්ම ඥානයෙන් දියුණු වූ නුවණට වැටහේ. විදර්ශනා භාවනා වඩන පුද්ගල තෙමේ මේ නාමරූප ධර්මයන්ගේ ත්රීලක්ෂණ වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මෙනෙහි කිරීමෙන් භාවනාමය ඥානයට අරමුණු කරගැනීමෙන්, කෙලෙස් නැසීමත් ලොකෝත්තර මාර්ග ඥානය ලැබීමත් සිද්ධකර ගන්නේ ය.