අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරහත්ත ඵල සිත

අර්හත් මාර්ග කුසල් සිතට අනතුරුව අර්හත් ඵල සිත් දෙකක් හෝ තුනක් ආනන්තරිය සමාධිය හා අකාලික විපාක වශයෙන් ද ඉපිද නැතිවීමෙන් පළමු පරිදි චිත්ත සන්තතිය භවාඞ්ග ස්‍රොතයට බස්නේ ය. මේ රහතන් වහන්සේට අශෛක්ෂ පුද්ගලයා යයි ද කියනු ලැබේ. පෘථග්ජනයන් හැර ඉතිරි මාර්ගඵලස්ථ පුද්ගලයෝ ශෛක්ෂ නම් වෙති.

ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ, ධ්‍යාන පාදක කොට නො ගෙන විදර්ශනා වඩා අර්හත් මාර්ග චිත්තය ලැබීමේ දී ප්‍රථම ධ්‍යාන යෙහි අන්තර්ගත ධ්‍යානාඞ්ග පසම ලබන බව දත යුතු. පසුව නිරොධ සමාපත්ති නම් වූ ඉහාත්මයෙහි නිවන් සැප විඳිනු කැමැති නම්, ධ්‍යාන උපදවා අෂ්ට සමාපත්ති ලාභී වන්නේ ය. ජීවිතයා ගේ කෙළවරදී රහතන් වහන්සේ ස්කන්ධශේෂය ද නැති කළ හෙයින් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ ය.

මේ මාර්ග සිත් සතර සතරවරෙක කරන සතර කෘත්‍යයන් දැක්වීමට උපමාවක් ද ඇත.

පෙර නුදුටු විරූ ඉතා අගනා වස්තු සොයමින්, යන පුද්ගලයෙක් එම වස්තු සම්බන්ධව මනා දැනීමක් ඇති අයගෙන් විමසා යම්කිසි ප්‍රදේශයක, රජවරුන්ට අයත් භාණ්ඩාගාරයෙක්හි එකී වස්තු තිබෙන බව අසා, එයට පැමිණෙන මාර්ගය ද හොඳ හැටි අසා දැන ගෙන, ඒ මගින් යන්නේ, සොර සතුරු උපද්‍රවාදීන්ගෙන් බේරී, ක්‍රමයෙන් අවුත් භාණ්ඩාගාරය අසලට රාත්‍රි කාලයේ ම පැමිණියේය. එහි දී භාණ්ඩාගාරයට ඇතුල්වීමට නිසි අවසර ආදිය රැගෙන, පහන් දැල්වීම් ආදියට උවමනා උපකරණ ද සකස් කොට, භාණ්ඩාගාරයට පැමිණ දොර හැර බලා, අන්ධකාරය පවත්නා බැවින් භාණ්ඩ නො දැක තමා විසින් ගෙනෙන ලද උපකරණවලින් පහන දල්වා භාණ්ඩාගාරය ආලෝක කොට, එහි තැන්පත් කළ අගනා වස්තු දැක සතුටු වී, තමන් කැමැති භාණ්ඩ ද රැගෙන පහන නිවා දොර වසා නැවත පළමු සිටි තැනට පැමිණ, එහි විස්තර සිතමින් සිටියේ ය. මඳක් වේලා මෙසේ සිට නැවත වරක් භාණ්ඩ දකිනු කැමැති ව පළමු පරිදි භාණ්ඩා ගාරයට ගොස් පහන දල්වා, වස්තු බලා, කැමැති දේ රැගෙන ආපසු පැමිණියේය. තුන්වන වරට ද මෙසේ ම ගොස් පහන දල්වා වස්තු බලා සතුටින් ආපසු ආයේ ය. සතරවන වරට ද වස්තු දකිනු කැමැතිව ගොස් පහන දල්වා වස්තු බලා සිටිය දී ම සූර්‍ය්‍යා ලෝකය පහළවී ය. මෙ තැන් සිට හෙතෙමේ කැමැති කැමැති විටෙක සූර්‍ය්‍යා ලෝකයෙන් වස්තු බලා ප්‍රීතිවෙමින් සවස හිර බසිනතෙක් සිට සැනසීමට පත් වීය. මේ උපමාවෙහි භාණ්ඩාගාරයේ තැන්පත් අගනා වස්තු මෙන් චතුස් සත්‍යයෝ ද, වස්තු සොයා ගිය පුද්ගලයා මෙන් යොගාවචර තෙමේ ද, නිසි මග යාම මෙන් පූර්වභාග ප්‍රතිපදාව ද, සතර වරෙක පහන් දල්වා ආලෝකය ලබා ගත්තාක් මෙන් සතර මාර්ග ඥානයෙන් සතර කෘත්‍යය සිදු කිරීම ද, සූර්‍ය්‍යා ලෝකය මෙන් අර්හත් ඵලය ද, සූර්‍ය්‍යා බැස යන තෙක් වස්තු සිත් සේ බැලීම මෙන් කැමැති කැමැති විටෙක නිවණ අරමුණු කිරීම ද, සූර්‍ය්‍යා බැස යන්නාක් මෙන් රහතන් වහන්සේ ගේ පිරිනිවීම ද දත යුතුයි.

දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් එක් මාර්ගයකින් නසනු ලබන්නා වූ අකුසල් සිත් සයකි. සොවාන් මාර්ග සිතින් දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතර සහ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත ද අර්හත් මාර්ගයෙන් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත ද එකවර නසනු ලැබේ. මාර්ග තුනකින් නසනු ලබන සිත් දෙකෙකි. එනම්, සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන මාර්ග සිත් තුනෙන් නසනු ලබන්නා වූ පටිඝ සම්ප්‍රයුක්ත සිත් දෙක ය. සතර මාර්ගයෙන් ම නැසිය යුතු අකුසල් සිත් සතරෙකි. එනම් සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්ගයෙන් නසනු ලබන දිට්ඨිගත විප්පයුක්ත සිත් සතරය.

මේ ආර්‍ය්‍ය පුද්ගලයන් අට දෙනාට, තම තමන් ගේ ඵල සිත් මුත්, අනික් ලොකොත්තර සිත් සත නො ලැබෙන බව දත යුතු ය.