කාමාවචර මහා ක්රියා සිත් අට
- සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාරික ක්රියා සිත.
- සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික ක්රියා සිත.
- සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාරික ක්රියා සිත.
- සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික ක්රියා සිත.
- උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාරික ක්රියා සිත.
- උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික ක්රියා සිත.
- උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත අසංඛාරික ක්රියා සිත.
- උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික ක්රියා සිත.
මේ මහා ක්රියා සිත් අට ද, කුසල් සිත් අටට බොහෝ සෙයින් සමානය. මෙහි ඇති වෙනස, කර්ම නොවන හෙයින් විපාක නො දෙන බවය. කර්ම ක්ෂය කළ රහතන් වහන්සේලාට පමණක් මේ සිත් ඇතිවන බැවින් ක්රියා සිත් නම් වේ. පෘථග්ජන වූ අපටත්, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යන මාර්ගඵලස්ථ පුද්ගලයන්ටත්, මේ මහා ක්රියා සිත් පහළ නො වේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මතු භවයක් නැති හෙයින්, කුසල් සිත් වෙනුවට මේ ක්රියා සිත් ඇතිවේ. ඉෂ්ටානිෂ්ට අරමුණු හමුවීමෙන් පහළ වන පඤ්චද්වාරික හෝ මනොද්වාරික චිත්තවීථිවල ජවන් සිත් වශයෙන් උන්වහන්සේලාට ඇතිවන්නේ මේ මහා ක්රියා සිත් අටෙන් එකක්ය. සියලුම අකුසල් මුල් සිඳ දවන ලද බැවින් අකුසල් සිත් දොළොස (12) ඇති නොවේ. එසේම මතු භවයක් නැති නිසා කුසල කර්මයන් ගෙන් ප්රයෝජන නැති හෙයින් කුසල් සිත් අට ද ඇති නොවේ.
රහතන් වහන්සේලා සිහි නුවණින් යුක්තව යම් යම් කටයුතු කිරීමේ දී ඤාණසම්පයුත්ත මහා ක්රියා සිත් සතරෙන් එක් සිතක් ජවන් සිත් වශයෙන් පහළ වේ. පුරුද්දෙන් මෙන් යම් යම් කටයුතු කිරීමේ දී ඤාණ විප්රයුත්ත මහා ක්රියා සිත් සතරෙන් එකක් ඇති වේ. බුදුන් වහන්සේලාට ඤාණසම්ප්රයුත්ත ක්රියා සිත් මිස ඤාණ විප්රයුත්ත ක්රියා සිත් ඇති නොවන බව දක්වා තිබේ. අහේතුක සිත් අටළොස (18) විස්තර කිරීමේ දී සොමනස්ස හසිතුප්පාද නම් අහේතුක ක්රියා සිතක් දක්වන ලදී. ඒ ක්රියා සිතත් සිනහ පහළ කරන විට රහතන් වහන්සේලාට පමණක් ඇතිවන බව ද මතක තබා ගත යුතුයි.
මේ කාමාවචර සිත් සූපනසෙන් (54) ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන සිත් මෙසේ දත යුතුයි.
බුදුරජාණන් වහන්සේට:—
හසිතුප්පාද සිත හැර අහේතුක සිත් සතළොස (17) මහා විපාක සිත් අට (8) ඤාණ සම්පයුත්ත මහා ක්රියා සිත් සතර (4) යන සිත් (29) ඇති වේ. (ඇතැම් ආචාර්ය්යවරු, හසිතුප්පාදයත් ඤාණ විප්පයුත්ත ක්රියා සිත් සතරත් ඇති විය හැකි බව කියති.)
රහතන් වහන්සේලාට
අහේතුක සිත් අටළොස (18) මහා ක්රියා සිත් අට (8) මහා විපාක සිත් අට (8) යන සිත් 34 ඇති වේ.
අනාගාමි පුද්ගලයන්ට:—
දිට්ඨිගත සම්පයුත්ත සිත් සතර (4) දොමනස්ස සිත් දෙක (2) සහ විචිකිච්ඡා සිත ද යන සිත් සත හැර ඉතිරි අකුසල් සිත් පහ (5), හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් (17), මහා කුසල් සිත් අට (8), මහා විපාක සිත් අට (8) යන සිත් 38 ඇති වේ.
සෝවාන් සහ සකෘදාගාමි පුද්ගලයන්ට:—
දිට්ඨිගත සම්පයුත්ත සිත් සතර සහ විචිකිච්ඡා සිත හැර ඉතිරි අකුසල් සිත් (7) සත හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් (17) මහා කුසල් සිත් (8) මහා විපාක සිත් (8) යන සිත් 40 ඇති වේ.
පෘථග්ජනයන්ට:—
අකුසල් සිත් දොළොස (12) හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් (17), මහා කුසල් සිත් අට (8), මහා විපාක සිත් අට (8) යන සිත් 45 ඇති වේ.