අරහත්තමග්ග කුසල් සිත
සතරවැනි ව හෙවත් අවසාන වරට උපදින මාර්ග සිත අර්හත් මාර්ග සිත ය. අග්‍ර දක්ෂිණාර්හ හෙයින්, සියළු දෙවි මිනිසුන් ගේ පූජා ලබන්නට සුදුසු වන බැවින් හෝ කෙලෙස් නම් වූ අරින් (සතුරන්) හනනය (නිරවශෙෂයෙන් නැසීම) කළ බැවින් හෝ සංසාර චක්‍රයෙහි අරනම් වූ දැවි නැසූ බැවින් හෝ පව කිරීමෙහි රහසක් නැති බැවින් හෝ හෙවත් රහසින්වත් පව නො කරන බැවින් හෝ “අරහ” නම් වූ රහත් හු ගේ බවය යන අර්ථයෙන් අරහත්ත නම් වූ අරහත් ඵලය ලබන්නා වූ මාර්ගය අරහත්ත මග්ග නමි.
අනාගාමි ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ රහත් බව ලැබීම පිණිස නැවත විදර්ශනා භාවනා වඩනා කල්හි සියළු ම විදර්ශනා ඥානයන් නැවත පහළවීමෙන් සතර වැනි වරට මාර්ග චිත්ත වීථිය ඇති වී එහි අනුලෝම චිත්තයන්ට අනතුරුව, වොදාන සිත ඉපිද නිරුද්ධ වූ කල්හි සතර වැනි වරට චතුස්සත්‍යාවබෝධය කරමින්, සතර කෘත්‍යයන් එකක්ෂණිකව සිද්ධ කරමින් අරහත්ත මාර්ග සිත නිර්වාණය අරමුණු කොට උපදින්නේ ය.
මේ අර්හත් මාර්ග කුසල් සිතින් ඉතිරි අකුසල් හෙවත් අනුශය වසයෙන් පැවති සියළු ම පාප ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්රහාණය කොට නැවත භවයක නූපදනා පරිද්දෙන් සොපාදිශෙස නිර්වාණ ධාතුවට හෙවත් උපාදානස්කන්ධ ශෙෂය සහිතව පවත්නා නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ ය.
අර්හත් මාර්ග ඥානයෙන් අකුසල චිත්තයන් අතුරෙන් දිට්ඨිගත විප්පයුත්ත සිත් සතර සහ උද්ධච්ච සම්ප්‍රයුත්ත සිත ද, සංයෝජනයන් අතුරෙන් රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් පස් දෙනා ද, ක්ලේශයන් අතුරෙන් ලොභ, මොහ, මාන, ථින, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන සත් දෙනා ද, මිච්ඡත්තයන් අතුරෙන් මිච්ඡා වචන (සම්ඵප්පලාප) මිච්ඡා ව්‍යායාමය, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා විමුත්ති මිච්ඡා ඥාණ යන මොහු ද, ලොක ධර්මයන් අතුරෙන් ඒ ඒ ලොක ධර්ම විෂයෙහි වූ ආලය ද, විපර්‍ය්‍යාසයන් අතුරෙන් දුකෙහි සුව යයි ගන්නා සංඥා චිත්ත විපර්‍ය්‍යාසයන් ද, ග්රන්ථයන් අතුරෙන් අභිධ්‍යා කාය ග්‍රන්ථය ද, ආශ්‍රවයන් අතුරෙන් භවාශ්‍රව, අවිජ්ජාශ්රව දෙකද භවොඝ, අවිද්යොඝ, භවයොග, අවිද්යායොග යන සතර ද, නීවරණ යන් අතුරෙන් ථිනමිද්ධ, උද්ධච්ච යන දෙදෙනා ද උපාදානයන් අතුරෙන් කාමුපාදානය ද, අනුශයයන් අතුරෙන් මාන, භවරාග, අවිද්යානුශයන් ද, මලයන් අතුරෙන් ලොභ, මොහ මලයෝ ද, අකු සල කර්ම පථයන් අතුරෙන් සම්ඵප්පලාප අභිධ්‍යා යන දෙදෙනා ද යන මේ සියලුම පාප ධර්මයන් නැවත නූපදනා පරිදි නිරවශේෂ යෙන් නසනුලැබේ.