අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලෝකෝත්තර සිත් අට

  1. සොතාපත්ති මග්ග සිත. (පළමුවරට නිවන් මගට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ග කුසල් සිත.)
  2. සොතාපත්ති ඵල සිත.
  3. සකදාගාමි මග්ග සිත. (එක් වරක් කාම භවයට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ග කුසල් සිත.)
  4. සකදාගාමි ඵල සිත.
  5. අනාගාමි මග්ග සිත. (නැවත කාම භවයට නො පැමිණෙන ආර්‍ය්‍ය මාර්ග කුසල් සිත.)
  6. අනාගාමි ඵල සිත.
  7. අරහත්ත මග්ග සිත. (සියලු කෙලෙසුන් නසා පූජ්‍ය භාවයට පත් ආර්‍ය්‍ය මාර්ග කුසල් සිත.)
  8. අරහත්ත ඵල සිත.

මේ මාර්ග සිත් සතර, ලොකයෙන් එතර කරවන හෙයින් ලොකෝත්තර වූ ද, නිවණට පමුණුවන අඞ්ගයන්ගෙන් යුක්ත වූ හෙයින් මාර්ග වූ ද, පව් නසන හෙයින් කුසල වූ ද සිත් සතරකි.

මෙහි මග්ග යන්නෙන් අදහස් කරණ ලද්දේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගීක මාර්ගයයි. සියළු ම දුක්ඛයා ගේ අනුත්පාද නිරොධයට පැමිණෙන පිළිවෙත නම් වූ මේ මාර්ගයා ගේ අඞ්ගයෝ නම්- 1. සම්‍යග් දෘෂ්ටිය, 2. සම්‍යග් සඞ්කල්පය, 3. සම්‍යග් වචනය, 4. සම්‍යග් කර්මාන්තය, 5. සම්‍යග් ආජීවය, 6. සම්‍යග් ව්‍යායාමය, 7. සම්‍යග් ස්මෘතිය, 8. සම්‍යග් සමාධිය යන මොහු ය.

මේ මාර්ගාඞ්ගයෝ අට දෙනා එකක්ෂණිකව, එක් සිතෙහි, නිර්වාණය ම අරමුණු කොට ගෙන පහළවන බැවින්, මේ අට දෙන, ගේ සමුදාය මාර්ගය නම් වේ. එක් පුද්ගලයෙකු ගේ සන්තානයෙහි මේ අෂ්ටාඞ්ගික මාර්ගය සතර වරෙක් මිස ඉන් වැඩියක් නූපදනේය. ඒ සතර අවධියේ ම, නැසිය යුතු ඒ ඒ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණි වශයෙන්, නැවත නූපදනා පරිදි, වෙන් වෙන් ව නසන බැවින් වැඩියක් මාර්ග සිත් ඉපදීමෙන් කළ යුත්තක් නැති හෙයින් නූපදනේ ය. තව ද මේ මාර්ග චිත්තයෝ සතර දෙන, සතර වරෙක, කෘත්‍යයන් සතර බැගින් එකක්ෂණිකව සිද්ධ කරමින් උපදනාහුය. ඒ සතර කෘත්‍යයෝ නම්:-1. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීම, 2. සමුදය සත්‍යය පහ කිරීම, 3. නිරොධ සත්‍යය ප්‍රත්‍යක්ෂව දැනීම, 4. මාර්ග සත්‍යය වැඩීම යන සතර ය.

යම් සේ තෙල් පහනක් දැල් වූ කල්හි පහන් වැටිය දැවීම ය. අන්ධකාරය නැසීමය. ආලෝකය පැතිරයාමය, තෙල් ක්ෂයවීම ය. යන මේ සතර කෘත්‍යයන් ඉදිරි පසු නො වී එකක්ෂණිකව කරන්නාක් මෙන්, මේ මාර්ග චිත්තයෙහි යෙදුන ප්‍රඥා චෛතසිකය නමැති ප්‍රදීපය එකක්ෂණිකව සතර කෘත්‍යයක් සිද්ධ කෙරේ. යම් සේ ප්‍රදීපය පහන් වැටිය දවා ද, එසේ ම මාර්ග ඥානය දුක්ඛ සත්‍යය පිරිසිඳ දනී. යම් සේ අඳුර නසා ද එසේ ම සමුදය සත්‍යය දුරු කෙරේ. යම් සේ එළිය පතුරුවා ද, එසේ ම මාර්ගයා ගේ වැඩීම සිදු වේ. යම් සේ තෙල් ක්ෂයවීම වේ ද, එසේ ම කෙලෙසුන් ගේ ගෙවීමට ප්‍රත්‍යය වූ නිරොධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් සාක්ෂාත් කෙරේ. ඊට චතුස්සත්‍යාවබොධය යයි කියති.

මේ ලොකොත්තර මාර්ග චිත්තය කෙලෙස් නසන හෙයින් කුසල් ද වෙත්. සියළු සත්තිස්බොධිපාක්ෂික ධර්මයන් හා සම්ප්‍රයෝග ලක් ෂණයන් මිශ්‍රව ලැබෙන හෙයින් මේ නිර්වාණමාර්ගයට මිශ්‍රක මාර්ගය යයි ද කියනු ලැබේ. මෙයට පූර්වයෙහි, බොධි සම්භාරයන් පිරීම් වශයෙන්, එකී ධර්මයන් වෙන් වෙන් ව රැස් කිරීමය යන විවට්ටපාද නම් වූ, පූර්වභාග ප්‍රතිපත්ති සංඛ්‍යාත ලෞකික මාර්ගය ද වැඩිය යුතු වේ. මෙකල්හි වසන්නා වූ, ඝන බොල් කෙලෙස් ඇති, දීර්ඝ කාල යක් මුළුල්ලෙහි දානාදි සුචරිතයන් පිරීමෙන් තියුණු නො කරණ ලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති, නුමුහු කළ නුවණ ඇති, පෘථග්ජනයන් විසින් රැස් කරනු ලබන්නා වූ, භව සම්පත් සාදා දීමෙහි පොහොසත් වූ, වට්ටපාද කුසල කර්මයෙන්, මේ ලෞකික ලොකොත්තර මාර්ග යන් ලැබිය නො හැකි ය. එසේ ද වුවත්, මෙ කල්හි කරනු ලබන්නා වූ දාන ශීලාදි ලෞකික කාමාවචර කුසලයෙන්, නිවන් පැතුයේ වීනම්, ක්‍රමයෙන් තීක්ෂණ ඉන්ද්‍රියන් ඇති පුද්ගලයෙකු වීමට එය උපනිශ්‍රය වන බැවින් නිවන් ම පතා දානාදී කුසල් කටයුතු ය.

මේ ආර්‍ය්‍ය මාර්ගය ලබනු කැමැත්තෙකු විසින් ශ්‍රාවක බොධිවශයෙන් නම්, යටත් පිරිසෙයින් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දානශීලාදි සුචරිතයන් පිරීමෙන් තියුණු කරන ලද, ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, සති, සමාධි, ප්‍රඥා සඞ්ඛ්‍යාත පඤ්චෙන්ද්‍රියන් ඇත්තා වූ, කෙලෙස් තුනී කළ සත්ත්වයෙක් ම විය යුතු ය. එසේ නොවී නම් දහස් ගණන් බුදුවරයන් වහන්සේලාට හමුවූවත්, මාර්ග ඵලාධිගමයක් නො කට හැකි වේ. බුදුවරයන් වහන්සේලා බුදු ඇසින් ලොව බලා වදාරණ කල්හි ඒ බුද්ධ ඥානයට ගොදුරු වන්නේ, එබඳු පිරූ පෙරුම් ඇති සත්පුරුෂ සමූහයාම ය. එසේ නො වූවෝ ගඳකිළිය සමීපයෙහි ම සිටියත්, උන් වහන්සේලා ගේ බුදු ඇසට හමු නොවන්නේ ම ය.

මෙසේ පිරූ පෙරුම් ඇති ව, විපාකාවරණයෙන් මිදී, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබ, ආනන්තරිය අකුසල කර්මාදියක් නො කළ බැවින් කර්මාවරණයෙන් ද තොර ව රාජ්‍ය සම්පත් ආදී වූ කෙලෙස් උපදවන තැන්හි නො පිහිටි ක්ලේශාවරණ නැත්තෙක්ව, සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පතිරූප දෙශ වාසය, පණ්ඩිත සේවනය, සද්ධර්ම ශ්‍රවණය, සහ නොපසු බට වීර්‍ය්‍යයෙන් ද, ක්‍රමයෙන් ශීලවිසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කඞ්ඛාවිතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය, ප්‍රතිපද ඤාණ දස්සන විසුද්ධිය, යන ෂට් විසුද්ධීන් උපදවා, ඔවුන්ගේ වශයෙන් නොයෙක්වර ලබන ලද පූර්ව භාග මාර්ග ඇතිව, චුල්ලසෝතාපන්න යයි කිය යුතු බවට පැමිණ, සත් වැනි විසුද්ධිය වූ ඤාණදස්සන විසුද්ධි අවස්ථා වෙන් මිශ්‍රක මාර්ග නම් වූ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගය අධිගම කටයුතු වේ. සැකෙවින් කියතොත්, පූර්වභාග ප්‍රතිපදය, මිශ්‍රක ප්‍රතිපදය යන උභය මාර්ගය, නිවන් දක්නා ජාතියෙහි ම ලැබිය යුතු බවත්, දැනට අප විසින් කරනු ලබන්නා වූ, දාන ශීලාදී කාමාවචර වූ වට්ටපාද කුසලයන්, නෛර්යාණික මාර්ග නො වෙතත්, නිවන් පැතුයේ වී නම්, ඊට උපනිශ්‍රය මාත්‍රයක් වන බවත් දත යුතු ය.

මෙසේ සලකන කල්හි, මේ ආත්ම භාවයෙහි නිවණට පැමිණි මට පූර්වභාගයේ දී, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශ්‍රීත ශීලය, යන සතර පිරිසිදු ශීල සමූහය සම්පූර්ණ ව, අතිපරිසුද්ධව, ලොව්තුරා දහම් ලැබීමට උපකාර වන, ශීල විසුද්ධි වශයෙන් පිහිටිය යුතු වේ. මෙසේ ශීල විසුද්ධියෙන් පිරිසිදු ව, උපචාර සමාධිය, අර්පණා සමාධිය වශයෙන් දෙවැ දෑරුම් වූ, විදර්ශනාවට පාදකවූ, කාමාවචර වූ ද, මහග්ගත වූ ද, සමාධීහු වඩා, චිත්ත විසුද්ධියෙහි පිහිටා තමා ගේ ආත්ම භාව සංඛ්‍යාත පඤ්චෝපාදානස්කන්ධයෙහි නාම රූප මාත්‍රය ම මුත්, අනික් ආත්ම යයි ගන්නට යමක් නැතැයි, නාම රූපයන් ඇති සැටි දක්නා සම්මර්ශන ඥානයෙන් දුක්ඛ සත්‍ය නිශ්චය කොට දැකීම නම් වූ දිට්ඨි විසුද්ධිය උපදවා ගත යුතු ය. එසේ පිරිසිදු ව දක්නා දුක්ඛ සත්‍යයා ගේ, අවිද්‍යා තෘෂ්ණාදී ප්‍රත්‍යයන් පිරිසිඳ දැනීමෙන් කාලත්‍රය විෂයෙහි ඉපදිය හැකි වූ සැක දුරු කොට පවත්නා විදර්ශනා ඥානය නම් වූ කඞ්ඛා විතරණ විසුද්ධියෙන් පිරිසිදු ව, සමුදය සත්‍ය ය නිශ්චය කොට දැනගන්නේ වේ. මේ සේ සැක හැර, සමුදය සත්‍යය පිළිබඳ ඤාණය පිරිසිදුවීමෙන් පසු, නැවත ත්‍රිලක්ෂණයන් අනේක ප්‍රකාරයෙන් සම්මර්ශනය කරමින්, විදර්ශනා වඩන්නා වූ පුද්ගලයා හට, ඕභාසාදි දශ විධ විදර්ශනෝප ක්ලේශයන් පහළවීමේ දී මාර්ග යයි සිතා නො මගට යා හැකි බැවින්, ඒ නො මගින් වළක්වා, නිසි මඟ පාදා දෙන්නා වූ මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධියෙන් පිරිසිදු වන්නේ ය. මෙසේ විදර්ශනෝප ක්ලේශයන්ගෙන් මිදී තිලකුණු මෙනෙහි කොට, පිළි වෙලින් ඉපිද විය යුතු වූ උදයව්‍යඥානාදී වූ නව මහා විදර්ශනා ඥානයෝ පහළවීමෙන් ප්‍රතිපදා ඥාන දස්සන විසුද්ධියෙන් ද පිරිසිදු වන්නේ ය. මේ නව මහා විදර්ශනා ඥානයන් පහළ වූ කල්හි මාර්ග ඵලාධිගමය පිණිස වැඩිය යුතු වූ අන්‍ය විදර්ශනාවක් නැති හෙයින්, මාර්ග චිත්ත වීථිය පහළ වී, අනුලෝම සිත්වලට අනතුරුව පෘථග්ජන ගොත්‍රයෙන් එතර කරවමින් ගොත්‍රභූ සිත ඉපිද නිරුද්ධ වූ කල්හි ඥාන දස්සන විසුද්ධි වශයෙන් සොතාපත්ති මාර්ග චිත්තය, නිවණ අරමුණු කොට, සතර කෘත්‍ය සිද්ධ කරමින්, ආර්‍ය්‍ය භාවයට පමුණුවමින් උපදින්නේ ය. එයට අනතුරුව ඵල සිත් දෙකක් හෝ තුනක් ඇති වී, නැසූ කෙලෙස් විඩා සන්සිඳුවා භවාඞ්ග ශ්‍රෝතයට නැවත බස්නේ ය.

තව ද, පූර්ව භාග ප්‍රතිපත්ති සමයෙහි විදර්ශනාවට පාදකවූ ලෞකික ධ්‍යාන වඩන කල්හි සමථ බලය අධික වේ. අනිත්‍යානු දර්ශනාදි වශයෙන් විදර්ශනා වඩන කල්හි විදර්ශනා බලය අධික වේ. ලොකොත්තර මාර්ගයෙහි වූ කලී ඒ සමථ විදර්ශනා දෙදෙන ම සම බලව, යුගනඞ්ග ව, එක වියෙහි සම බරට යෙදූ ගොනුන් දෙදෙනෙකු මෙන් එක චිත්තයෙහි අඩු වැඩි නො වී යෙදෙති. එහෙයින් ලොකෝත්තර මාර්ගක්ෂණයෙහි සමථ බලය විදර්ශනා බලය යන බලයන් දෙදෙනා ගේ සම යෝගය ලැබෙයි. තව ද, පූර්වභාග ප්‍රතිපත්ති සමයෙහි සමථ බලය අධික කල්හි විෂ්කම්භන ප්‍රහාණ වශ යෙන් කෙලෙසුන් නැසීම ද, විදර්ශනා බලය අධික කල්හි තදඞ්ග ප්‍රහාණ වශයෙන් කෙලෙස් නැසීම ද, ලොකොත්තර මාර්ගක්ෂණ යෙහි උභය බල සමයෝගය ඇති කල්හි සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් කෙලෙස් නැසීම ද සිද්ධ වේ.

මේ කෙලෙස් නැසීම සිදුවන්නේ කෙසේ දැයි සංක්ෂෙපයෙන් වත් දත යුතුය. කෙලෙස් නම් එකාන්තයෙන් සිත් සතන් කෙලෙසන්නා වූ ද, කිලිටි කරන්නාවූ ද, නාම ධර්මයන් බැවින්, සිතෙහි ම ඇතිවනු මිස අන් තැනෙක ඇති විය හැකි නො වේ. කුසල් අකුසල් දෙක ම එක සිතක එකවර නො ලැබිය හැකි බැවින් ද, මේ මාර්ග සිතින් එහි නැති ක්ලේශයන් නසන්නේ කෙසේ දැයි සිතිය හැකි වේ. යම් වස්තුවක් පිහිටීමට භූමියක් උපකාර වන්නාක් මෙන් ද, භූමිය නැති තැන වස්තුව නො පිහිටන්නාක් මෙන් ද, කෙලෙස් ඇතිවීමට ද භූමියක් තිබිය යුතු ය. ඒ භූමිය නම් ත්‍රෛභූමික ස්කන්ධයෝ යි. භූමි නම් වූ මේ උපාදානස්කන්ධයන්හි, ප්‍රත්‍යයක් ඇති කල්හි ඉපදිය හැකි වූ ක්ලේශයෝ භූමිලබ්ධ ක්ලේශයෝ වෙති. මේ භූමිලබ්ධ ක්ලේශයන් ගේ නැවත කිසි කලෙකත් නූපදනා සේ වළක්වාලීම නම් වූ අනුත්පාද නිරෝධය, මාර්ගයෙන් කෙලෙස් නැසීම බව දත යුතු ය.

මෙසේ විදර්ශනා භාවනාවට පූර්ව භාගයෙහි පිළිවෙලින් චතුපාරි සුද්ධ ශීලයන් සම්පූර්ණ කොට, ආනාපාන සති ආදි චිත්ත භාවනා වඩා, එයින් ලබන ලද චිත්තෙකග්ගතා නම් වූ බලවත් සමාධි ඇත්තේ, නීවරණ ධර්මාදි අකුසලයන් ගේ ප්‍රහාණිය තදඞ්ග විෂ්කම්භන වශ යෙන් සිද්ධ කොට, ධ්‍යානාඞ්ග උපදවා, එම ධ්‍යානාඞ්ග පාදක කොට ගෙන හෝ පාදක කොට නො ගෙන හෝ ප්‍රඥා භාවනා වඩා, එයින් උපදවන ලද නව මහා විදර්ශනා ඥාන ඇති ව, පිළිවෙලින් මාර්ග ඵලාධිගමය කරනු මිස මෙයට වඩා කෙටි මාර්ගයක් මේ ශාසනයෙහි දක්වා නැත. බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී වදාරණ කාලයෙහි, බොධි සම්භාරයන් පුරා සම්පූර්ණ කොට, මුහු කළ නුවණ ඇති ව, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් දිව්‍ය මනුෂ්‍යාදී ආත්ම භාවයන් ලැබූ පුද්ගලයෝ, බුදු රජාණන් වහන්සේගෙන් හෝ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් වහන්සේලා ගෙන් හෝ, ස්වල්ප වූ ධර්ම මාත්‍රයක් අසා වහා චතුස් සත්‍යාව බෝධය කළහ. ඒ හැම පුද්ගලයන් විසින් ම පෙර භවයන්හි නිවන් පතා, දාන ශීලාදී පින්කම් කොට, සමථ, විදර්ශනා භාවනා පුරුදු කොට ක්ෂණයකින් වුව ද කීමාධිය ලබා ගැනීමට හේතු සම්පත් ඇති පුද්ගලයන් වූ බැවින්, වහා ධර්මාවබෝධ කළ බව දත යුතු ය. එසේ ද වුවත්, එක් වරම අර්හත් මාර්ග ඥානය ලබා ගත නො හැකි වේ. පළමු කොට සොවාන් මාර්ග ඥානය උපදවා ගෙන, ඉක්බිති පිළි වෙලින් සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ඉතිරි මාර්ගයන්ට පැමිණෙන්නේ ය.

සොවාන් මාර්ග ඥානය හෙවත් පළමුවරට නිවන් මඟට පැමිණීම ඇතිවන්නේ කාම ලොක සහ රූප ලොක වල ප්‍රතිසන්ධි ලබා සිටින පුද්ගලයන්ට පමණ ය. බණ ඇසීම නම් වූ “පරතො ඝෝෂ ප්‍රත්‍යය” සොවාන් වන කෙනෙකුට අවශ්‍යයෙන් ම උපකාර ධර්මයකි. ඇසීමට කන් නැති බැවින් කිසි කලෙකත් අරූප තලවල සෝවාන් මඟ නො ලැබෙන බව දත යුතු ය. කාම ලොක, රූප ලොකයන්හි සොවාන් ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයෙකුට නම් අරූපධ්‍යාන උපදවා අරූප තලවල උත්පත්ති ලැබුණ විට, එම අරූප තලයකම ඉතිරි මාර්ග ඵල ලබා පිරිනිවන් පාන්නට හැකි බව දත යුතු.