අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සකෘදාගාමි මග්ග කුසල් සිත

සෝතාපන්න ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ එම ආසනයේ හිඳ හෝ ඉන් පසු කාලයක හෝ දෙවැනි ආර්‍ය්‍ය භූමිය වූ සකෘදාගාමි භූමියට පැමිණෙනු පිණිස පරිකර්ම භාවනා වශයෙන් නැවත විදර්ශනා වඩන්නේ ය. හෙතෙම පළමු මාර්ගය ලැබීමට පරිකර්ම කළ පරිද්දෙන් සියලු බෝධ්‍යාඞ්ග ධර්මයන් පූර්වභාග ප්‍රතිපත්ති වශයෙන් නැවත නැවත තම සන්තානයෙහි උපදවා නාම රූප ධර්මයන් විදර්ශනා ඥානයෙන් පිරිසිඳ පිළිවෙලින් නව මහා විදර්ශනා ඥානයන් උපදවා ඉක්බිති පහළ වන්නා වූ දෙවෙනි මාර්ග චිත්ත වීථියේ දී අනුලෝම සිත්වලට අනතුරුව වෝදාන සිත පහළ වී නිරුද්ධ වූ පසු සකෘදාගාමි මග්ග කුසල චිත්තය ඉපිද, දෙවැනි වරට සතර කෘත්‍යයක් සිද්ධ කරමින්, චතුස්සත්‍යාවබෝධය කොට සකෘදාගාමි ආර්‍ය්‍ය පුද්ගල භාවයට පැමිණෙන්නේ ය.

දෙවැනි ලොකොත්තර මාර්ග සිත වූ මේ සකෘදාගාමි මග්ග කුසල් සිත, අකුසල් සිත් වශයෙන් යමක් ප්‍රහාණය නො කළේ වී නමුත්, දිට්ඨිගත විප්පයුත්ත ලෝභ මූල සිත් සතරත්, දෝෂ මූල පටිඝ සිත් දෙකත් යන අකුසල් සිත් සයෙහි ඝණබොල් බව නසමින් තවත් දුරට තුනී කරන්නේ ය. තව ද, සංයෝජනයන් අතුරෙන් ඖදාරික වූ, කාම රාග, පටිඝයන් ද මේ මාර්ග සිතින් නසන්නේ ය.