අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූපාවචර ක්‍රියා සිත් සතර

  1. ආකාශානඤ්චායතන ක්‍රියා සිත.
  2. විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත.
  3. ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා සිත.
  4. නෙවසඤ්ඤා නා සඤ්ඤායතන ක්‍රියා සිත,

අරූපාවචර කුසල චිත්තයන්ට සමාන වූ මේ ක්‍රියා සිත් සතර රහතන් වහන්සේලා විසින් ම උපදවනු ලබන බැවින් ක්‍රියා සිත් වේ.

මේ අරූපාවචර සිත් දොළොස ම උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙකින් ම යුක්ත බැවින් පඤ්චමධ්‍යානයට ඇතුළත් ය. එසේ ම සම්ප්‍රයුක්ත ය, සසංඛාරිකය.

ධ්‍යාන ලබන පුද්ගලයෝ, තික්ඛ ප්‍රාඥයෝ ය. මන්ද ප්‍රාඥයෝය යයි ද්විධ වේ. තියුණු නුවණින් වහා ධ්‍යාන උපදවන පුද්ගලයන් තික්ඛ ප්‍රාඥයන් වශයෙන් ද, එතරම් තියුණු නො වූ නුවණැති පුද්ගලයන් මන්ද ප්‍රාඥයන් වශයෙන් ද සලකනු ලැබේ. ධ්‍යාන සිත උපදින චිත්ත වීථියේ දී මන්ද ප්‍රාඥ පුද්ගලයන්ට පරිකර්ම උපචාර අනුලෝම, ගෝත්‍රභූ යන මහා කුසල් සිත් සතරක් ම ධ්‍යාන සිතට පූර්වයෙහි ඇති වේ. තික්ඛ ප්‍රාඥයන්ට උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන මහා කුසල් සිත් තුන පමණක් ධ්‍යාන සිතට පූර්වයෙහි ඇතිවේ.

සර්වඥයන් වහන්සේ තික්ඛ ප්‍රාඥයන් හට වැඩ පිණිස සියලු ම රූපාවචර ධ්‍යානයෝ සතරක් වශයෙන් ද, මන්ද ප්‍රාඥයන් උදෙසා ධ්‍යානයෝ පස් දෙනෙක් ද දේශනා කළ සේක. චතුෂ්ක නයින් ගත් විට රූපාවචර දෙවැනි තුන්වැනි ධ්‍යාන සිත් දෙක එකක් වශයෙන් ගනිනු ලැබේ. එවිට රූපාවචර ධ්‍යාන සිත් සතරත්, අරූපාවචර ධ්‍යාන සිත් සතරත් යන ධ්‍යාන සිත් අට දෙනා එක්කොට අෂ්ට සමාපත්තිහු යයි කියනු ලැබේ. පඤ්චක නයින් රූපාවචර සිත් පහත්, අරූපාවචර සිත් සතරත් යන ධ්‍යාන සිත් නවය එක්කොට ගෙන “නවානු පූර්ව විහාර සමාපත්ති” යයි කියති. තව ද මේ චතුෂ්කය හා පඤ්චකය එක් කොට ගත් කල්හි සුද්ධික නවකයයි ද කියනු ලැබේ.

නිරෝධ සමාපත්තියට සම වැද මේ ආත්මයෙහි නිවන් සැප විඳිනු කැමැති රහතන් වහන්සේලා විසින් මෙම අෂ්ට සමාපත්ති උපදවා ගන්නා බව දත යුතු ය.