මොහමූල සිත් දෙක
- උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත (මැදහත් වෙදනා සහිත වූ විචිකිච්ඡාව හෙවත් සැකය සමඟ යෙදුන සිත.)
- උපෙක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත (මැදහත් වෙදනා සහිත වූ උද්ධච්චය හෙවත් නොසන්සුන්කම සමඟ යෙදුන සිත.)
මොහය බලවත්වූවිට, ප්‍රිය අරමුණ ප්‍රිය වශයෙන් ගැනීමට ද අප්‍රිය අරමුණ අප්‍රිය වශයෙන් ගැනීමට ද නොහැකි වේ. එවිට සොම්නස හෝ දොම්නස ඇති වීමට අවකාශ නැත. ඒ වෙනුවට ඇතිවන්නේ උපෙක්ඛා හෙවත් මැදහත් වෙදනාවකි.
එමෙන්ම මෝහය අධික වීමෙන්, අරමුණු කරන දෙය පිළිබඳව විනිශ්චයක් කරගන්නට නොහැකි වීමෙන් සැකය අවිශ්වාසය ඇතිවේ. එයට විචිකිච්ඡාව යයි කියනු ලැබේ. මේ විචිකිච්ඡාව කුසල් කිරීමට බාධා කරණ බැවින් එය නීවරණයක් ද වේ.
නොදන්නා යම් කරුණක් සම්බන්ධව සිතා, තමන්ට එය නිසි අන්දමින් විමසා ගැනීමට නොහැකි වීමෙන් ඇති වන සැකය, නීවරණ විචිකිච්ඡාව නොවේ. මෙහි දී අකුසල් වශයෙන් දක්වනු ලබන්නේ නීවරණ සැකයයි.
විචිකිච්ඡාව වනාහී බුද්ධාදි අට තැන සැකය යයි කියන ලදී. එනම්:-
- බුදුරජාණන්වහන්සේ කෙරෙහි සැක කිරීම. දෙතිස් (32) මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් ශරීරයක් ඇති කෙනෙකු විය හැකි ද, සියල්ල දත් ඥානයක් හෙවත් සර්වඥාතාඥානයක් ඇත්ද, නැත් ද යනාදී වශයෙන් බුදුන්වහන්සේ කෙරෙහි සැක කිරීම.
- ධර්මය ගැන සැක කිරීම - සතරමග, සතරඵල, නිර්වාණ නම් වූ නවලොකොත්තර ශ්‍රී සද්ධර්මයක් ඇත් ද නැත්ද යනා දී වශ යෙන් ධර්මය කෙරෙහි සැක කිරීම.
- සංඝයා කෙරෙහි සැක කිරීම - මාර්ගස්ථ පුද්ගලයන් සතර දෙනය, ඵලස්ථ පුද්ගලයන් සතර දෙනයයි අනන්ත ගුණ ඇති අෂ්ටාර්ය්ය පුද්ගල මහාසංඝරත්නයක් ඇත් ද නැත්ද, සංඝරත්නය කෙරෙහි සිව්පස පිදීමෙහි අනුසස් ඇත් ද නැත් ද යන ආදී වශයෙන් සැක කිරීම.
- ශීලයෙහි සැක කිරීම. කුදු මහත් ශීලයන් රැකීමෙහි අනුසස් ඇත් ද නැත්ද යි සැක කිරීම.
- පූර්වාන්තය හෙවත් පෙර භවය ගැන සැක කිරීම. පෙර භවයක් අපට තිබුණා ද නැත් ද, මේ සත්ත්වයෝ අතීතයෙහි සිටියාද නැත් ද, යනාදී වශයෙන් සැක කිරීම.
- අපරාන්තය හෙවත් මතු භවය ගැන සැක කිරීම. මරණින් මතු තවත් උත්පත්තියක් ඇත්ද නැත්ද යන සැකයයි.
- පූර්වාන්ත අපරාන්ත දෙක්හි සැකය - පෙර භවය හා මතු භවය ගැන සැක කිරීමය.
- පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳ සැකය - අවිජ්ජා හේතුවෙන්ම සංස්කාරයෝ ඇතිවෙත්ද නැත්ද, යනාදී වශයෙන් හේතු ඵල ධර්මයන් ගැන උපදනා සැකයයි.
මේ ආදී වශයෙන් අට තැන සැක කිරීම නම් වූ විචිකිච්ඡාව සමඟ යෙදුන සිත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත නම් වේ.
දෙවැනි මොහමූල සිත
දෙවැනි මොහමූල සිත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතයි. උද්ධච්චය නම් සිතේ නොසන්සුන් බවයි. යම් අරමුණක්ගෙන සිතක් උපන් කල්හි ඒ සිතේ භංගය හෙවත් විනාශය දක්වාම ඒ අරමුණ අත් නොහරින්නේ ය. එය එකග්ගතා ශක්තියයි. කලබල ස්වභාවයක් නොමැතිව මේ එකග්ගතාවය දිගටම පවත්වාගන්නට හැකිවුවොත් සමාධිය ඇති කරගත හැකිවේ. යම් හෙයකින් කලබල ස්වභාවයක් ඇති වී නම් එකග්ගතා බලය හීනවීමෙන්, චංචල වීමෙන් ඒ සිතේ අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මයන්ද කලබල කොට නිසිසේ අරමුණ ගන්නට අවකාශ නොදී නොමගට හරවන්නේ ය. මොහය කරණකොට ගෙන ඇතිවන මේ නොසන්සුන් කම කුසලය වළක්වා අකුසල පක්ෂයට පමුණුවන්නේ ය. කුසල් කිරීමට සිත සන්සුන් විය යුතුය. එබැවින් සෑම අකුසල් සිතකම නොසන්සුන් බව හෙවත් උද්ධච්චය ඇති වේ.
මොහය බලවත් වූ කල්හි මේ නොසන්සුන් කමද බලවත් වේ. ඒහේතුවෙන් අරමුණ නිශ්චලව ගන්නට සම්ප්‍රයුක්ත ධර්මයන්ට ඉඩ නොදෙන්නේ ය. එවිට ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගෙන් කෙරෙන කටයුතු ඉටුකරන්නට නොහැකි වීමෙන් නොසන්සුන් බවම ප්‍රකට වේ, නැතහොත් උද්ධච්චය ප්‍රකට වේ. මෙසේ ඇති කල්හි යම්කිසි කරුණක් ගැන නිශ්චලව සිතන්නට ඔහුට නුපුළුවන.
බලවත් උද්ධච්චය හා සමඟ යෙදුන සිත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත නම්වේ. මේ සිතෙහි වෙදනාව ද උපෙක්ඛා වෙදනාව වේ.
මේ මොහමූල සිත් දෙක, මෙහෙයීමක්, අනුබලයක්, උනන්දු කරවීමක් නොමැතිවම හටගන්නා බැවින් අසංඛාරික සංඛ්‍යාවට ගැනෙන්නේ ය.