නෙව සඤ්ඤා නා සඤ්ඤා යතන කුසල් සිත
ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානලාභි යොගාවචර තෙමේ ඒ ධ්‍යානය පළමු පරිදි පස් ආකාරයෙන් පුරුදු කොට නොයෙක් වර ධ්‍යානයට සමවදිමින්, නැවත ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත විඤ්ඤානඤ්චා යතන සිතට ලං වූ බැවින්, එය ද අත්හැර, එයට වඩා ප්‍රණීත වූ නෙව සඤ්ඤා නා සඤ්ඤායතන සිත උපදවා ගනු කැමැතිව, ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත ම අරමුණු කොට ගෙන එය, “ශාන්තය, ප්‍රණීතය, ශාන්තය, ප්‍රණීතය” යනාදී වශයෙන් භාවනා වඩන කල්හි, නැවතත් ධ්‍යාන චිත්තවීථිය පහළවීමෙන් පරිකර්මාදී කුසල් සිත් වලට අනතුරුව උපෙක්ඛා එකක්ගතා යන ධ්‍යානාඞ්ග දෙකින් යුත් නෙව සඤ්ඤා නා සඤ්ඤායතන ධ්‍යාන සිත එක් වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු නැවත භවාඞ්ග වේ. මෙහි සඤ්ඤා යන්නෙන් සඤ්ඤා චෛතසිකය කී නමුත්, ඒ සමඟ ම ඒ සිතෙහි යෙදෙන අනිකුත් චෛතසිකයන් ද ගත යුතු ය. ඉතා සියුම් බවට පත් කරන ලද මේ අරූපාවචර ධ්‍යාන සිතෙහි හා එහි යෙදී ඇති චෛතසිකයන් ගේ ද, ඇති බවක් හෝ නැති බවක් දැන ගැනීම පවා දුෂ්කර හෙයින් නෙව සඤ්ඤා නා සඤ්ඤා යයි නම් කරන ලදී.
සතර අරූප ධ්‍යානයන්ට සමාන වූ උපමාවක් නම්-මහා කාන්තාර යක් මැද මණ්ඩපයක් වෙයි. එහි බිම අසූචිවලින් පිරී තිබේ. සූර්ය්ය තාපයෙන් ක්ලාන්ත වූ එක්තරා පුරුෂයෙක් දුවගෙන විත්, මණ්ඩපය බලා එහි සෙවෙන ලැබීමට කැමැති ව, පය ගසන්නට තැනක් නො ලැබ, මදක් උඩ පැන මණ්ඩප පියසෙහි එක් කොනක් අල්වා ගෙන, එහි එල්ලී බිම ස්පර්ශ නො කොට සිටී. දෙවැනි පුරුෂයෙක් ද එසේ ම දුවගෙන විත්, එල්ලෙන්නට තැනක් නො දැක, පළමු පුරුෂයා ගේ පයෙහි එල්ලී බිම ස්පර්ශ නො කොට සිටී. තුන්වැනි පුරුෂ යෙක් ද, විඩා සන්සිඳුවා ගැනීම සඳහා දුවගෙන අවුත් බිම ස්පර්ශ කිරීමට තැනක් නො දැක, පළමු පුරුෂයා මෙන් මණ්ඩපයෙහි අනික් කෙළවරෙහි එල්ලී සිටී. සතරවැනි පුරුෂයෙක් ද, ඔහු පසු පසින් දුවගෙන විත් තැනක් නො ලැබ තුන්වෙනි පුරුෂයා දැක ඔහු ගේ පයෙහි එල්ලී බිම ස්පර්ශ නො කොට සිටී.
මේ උපමාවෙහි කාන්තාරය නම් භයානක වූ සසරයයි. අසූචි යෙන් පිරි පොළව නම් කාම ලොක යයි. මණ්ඩපය නම් අරූප ලොක සතර ය.
පළමුවැනි පුරුෂයා - ආකාශානඤ්චායතන ධ්‍යානලාභි පුද්ගලයා ය.
දෙවැනි පුරුෂයා - විඤ්ඤාණඤ්චායතන ධ්‍යානලාභි පුද්ගලයා ය.
තුන්වැනි පුරුෂයා - ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානලාභි පුද්ගලයා ය.
සතරවැනි පුරුෂයා - නේවසඤ්ඤා නා සඤ්ඤායතන ධ්‍යානලාභි පුද්ගලයා ය.
- පළමුවැනි පුරුෂයා මණ්ඩප පියසෙහි එල්ලී සිටියාක් මෙන් ආකාශානඤ්චායතන සිත රූපාවචර පස් වැනි ධ්‍යානයට අරමුණු වූ කසිණ නිමිත්ත සිතින් අත්හැර ලබාගත් ආකාශ ප්රඥප්තිය අරමුණු කරයි.
- දෙවැනි පුරුෂයා පළමුවැනි පුරුෂයා ගේ පයෙහි එල්ලී සිටියාක් මෙන්, විඤ්ඤාණඤ්චායතන සිත, ඒ ආකාශ ප්රඥප්තිය ද ඉක්මවා එය අරමුණු කොට උපන් ආකාසානඤ්චායතන මහග්ගත චිත්තය අරමුණු කරයි.
- තුන්වැනි පුරුෂයා ද පළමුවැනි පුරුෂයා මණ්ඩපයෙහි කෙළවර එල්ලී සිටියාක් මෙන්, ආකිඤ්චඤ්ඤායතන සිත, ආකාශානඤ්චායතන සිත ද ඉක්මවා, එහි අභාවය වූ නැති බව හෙවත් නාස්ථිභාව ප්රඥප්තිය අරමුණු කරයි.
- සතරවැනි පුරුෂයා තුන්වැනි පුරුෂයා ගේ පයෙහි එල්ලී සිටියාක් මෙන්, නේවසඤ්ඤා නාසඤ්ඤායතන සිත ඒ නාස්ථිභාව ප්රඥප්තිය ද ඉක්මවා එය අරමුණු කොට උපන් ආකිඤ්චඤ්ඤායතන මහග්ගත සිත අරමුණු කරයි.