සෝතාපත්ති මග්ග කුසල් සිත
මහා සමුද්‍රය කරා නො නැවතී වේගයෙන් ගලා බස්නා ජලය ඇති, ඇළ, දොළ, ගංගා සඞ්ඛ්‍යාත ශ්‍රෝතයට හෙවත් සැඩ පහරට පළමුවරට බැස ගැනීම වැනි වූ නිවණට නො නැවතී පැමිණෙන තත්ත්වයට පළමු කොට බැස ගන්නා, මාර්ගාඞ්ග අට හා යෙදුන සිත සෝතාපත්ති කුසල් සිත නමි. පෘථග්ජන ගොත්‍රය නසා ආර්‍ය්‍ය භාවයට පමුණුවන්නා වූ මේ සෝතාපත්ති මග්ග සිත පළමුවැනි ලොකොත්තර සිත වේ.
දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරත්, මෝහ මූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතත් යන අකුසල චිත්තයෝ පස් දෙනා මේ සෝවාන් මාර්ග චිත්තයෙන් සමුච්ඡෙද වශයෙන් ප්රහාණය කරනු ලැබේ. එසේ ම දිට්ඨිගත විප්පයුක්ත සිත් සතරෙහි සහ දොෂ මූල සිත් දෙකෙහි ද යන අකුසල සිත් සදෙනා ගේ අපාය ගමනීය ශක්තියද මේ සොවාන් මාර්ග සිතින් නසන්නේ ය. තව ද දස සංයෝජනයන් අතුරෙන්, සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ඕරම්භාගීය සංයෝජනයන් තිදෙනා ද, ක්ලේශයන් අතුරෙන්, දිට්ඨි, විචිකිච්ඡා යන දෙක ද, මිච්ඡත්තයන් අතුරෙන් මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා වචනය (මුසාවාදය), මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය යන සතර ද, මාත්සර්‍ය්‍යයන් පස් දෙනා ද, විපර්‍ය්‍යාසයන් අතුරෙන් අනිත්‍යයෙහි නිත්‍ය යයි ද, අනාත්ම යෙහි ආත්ම යයි ද, ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි විපර්‍ය්‍යාසයන් හා, දුකෙහි සුව යයි ද, අසුභයෙහි සුභ යයි ද ගන්නා දිට්ඨි විපර්‍ය්‍යාසයන් ද, ග්රන්ථයන් අතුරෙන් ශීලබ්බත පරාමාස, ඉදං සත්‍යාභිනිවේශ කාය ග්රන්ථ දෙදෙනා ද, අගති ගමනයෝ සතර දෙනා ද, ආශ්‍රවයන් අතුරෙන් දිට්ඨාශ්‍රවය ද, දිට්ඨෝඝය සහ දිට්ඨි යෝගය ද, නීවරණයන් අතුරෙන් විචිකිච්ඡා නීවරණය ද, එසේ ම පරාමාශය ද උපාදානයන් අතුරෙන් දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදානයන් ද අනු ශයන් අතුරෙන් දිට්ඨි විචිකිච්ඡා අනුශයෝද, අකුසල කර්ම පථ යන් අතුරෙන් ප්‍රාණ ඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසා වාදය, මිථ්‍යා දෘෂ්ටිය යන මොහු ද, ඉතිරි සියලු ම පාප ධර්මයන් ගේ අපාය ගමනීය භාවය ද මේ සොවාන් මාර්ග සිතින් සමුච්ඡෙද ප්‍රහාණි වශයෙන් නසන බව දත යුතු ය.
මේ සොවාන් මාර්ග ඥානයට “දස්සන” යයි ද කියනු ලැබේ.