අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සම්පටිච්ඡන සිත් දෙක

අරමුණ මනා කොට පිළිගැනීම් වශයෙන් ඇතිවන සිත සම්පටිච්ඡන සිත නම් වේ. යම් කෙනෙකු විසින් ගෙනෙන ලද වස්තුවක්, පසුව පරීක්ෂාකර බැලීම පිණිස, පළමුකොට අතින් පිළිගන්නේ වේද, එමෙන්ම ඉහතකී ද්විපඤ්චවිඤ්ඤාණයන් විසින් ගෙන එන ලද රූප ශබ්දාදි අරමුණු, පසුව සොයා බැලීම පිණිස මනාකොට පිළිගන්නා ආකාරයෙන් පහළවන සිත සම්පටිච්ඡන සිත නම් වේ. අකුසල විපාක විඤ්ඤාණයන් විසින් ගත් අනිෂ්ට අරමුණු පිළිගනිමින් උපදින සිත අකුසල විපාක සම්පටිච්ඡන සිත යයි ද, කුසල විපාක විඤ්ඤාණයන් ගත් ඉෂ්ට අරමුණු පිළිගනිමින් උපදින සිත කුසල විපාක සම්පටිච්ඡන සිත යයි ද දත යුතුයි. මේ සිතින් අරමුණු පිළිගැනීම පමණක් කරන හෙයින්, දුක් හෝ සැප වෙදනා නොඉපිද උපෙක්ඛා වෙදනාවම උපදී. චිත්තයන්ගේ කෘත්‍යය සහ සිත් යෙදෙන පිළිවෙල ආදිය දැන ගත් පසු මේ සිත් මෙයට වඩා හොඳින් අවබෝධ කරගැනීමට හැකි වේ.