අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාය විඤ්ඤාණ සිත් දෙක

කයට හෙවත් ශරීරයට හමුවන ස්පර්ශ දැනගන්නා සිත කාය විඤ්ඤාණ නමි. මේ සිත් උපදින්නේ කායප්‍රසාද වස්තුවෙහි ය. මේ කාය ප්‍රසාද වස්තු රූපය, මහාභූතරූපයන්ගේ පැහැයකි. මෙයට හමුවන පොට්ඨබ්බ අරමුණ නම් වූ ස්පර්ශය, පඨවි, තේජො, වායො යන භූතත්‍රයකින් යුත්, අරමුණෙකි. ඇස්, කන්, නාස, දිව ආදියට හමුවන රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණු උපාදාරූපයන් බැවින් ඉතා සියුම් ය. සතර මහාභූතයන්ගෙන් සැදුණු, සසම් භාර කාය නම් වූ මේ ශරීරය ආශ්‍රය කරමින් පවතින මේ කාය ප්‍රසාද වස්තුවෙහි පොට්ඨබ්බ අරමුණ හැපීමේ දී කිණිහිරක් පිට පුළුන් පිඩක් තබා යකඩයකින් පහර දෙන කල්හි පුළුන් පිඩ විනිවිදගොස් යකඩය කිණිහිරට තදින් හැප්පෙන්නාක් මෙන් ස්පර්ශයද ශරීරයට තදින් හැපෙන්නේ ය. එවිට උපෙක්ඛා වෙදනාවක් නොව, සැප හෝ දුක් වෙදනා හට ගන්නේ ය. කුසල විපාක වශයෙන්, මෘදුවූ, මිහිරි වූ ස්පර්ශ අරමුණු හමුවූ කල්හි අහේතුක සුඛ සහගත කායවිඤ්ඤාණය ද, අකුසල විපාක වශයෙන් හමුවන අමිහිරි රළු ස්පර්ශ ඇති කල්හි අහේතුක දුක්ඛ සහගත කායවිඤ්ඤාණය ඇති වන්නේ ය.

කායවිඤ්ඤාණයන්ගේ ඉපදීමට උපකාරවන කරුණු නම්:—

  1. කායප්‍රසාදයාගේ නොපිරිහීම.
  2. භූතත්‍රය සඞ්ඛ්‍යාත ස්පර්ශය හමුවීම.
  3. ශරීරයෙහි ඇති තද ගතිය නම් වූ පඨවිධාතුහුගේ උපනිශ්‍රය හෙවත් උපකාරය ලැබීම.
  4. මනසිකාරය.