රූපාවචර සිත් පසළොස
රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි බහුලව පවත්නා සිත් රූපාවචර සිත් නම්. කාමයන් අරමුණු කරණ කාමාවචර සිත් වලට වඩා මේ සිත් උසස් ය, බලවත්ය, තැන්පත්ය, පිරිසිදුය. රූපාවචර ධ්‍යාන සිත් යයි ද මෙයටම නමෙකි. නුවණ ඇති පුද්ගලයන් විසින් කාමයන්හි ආදීනව දැන, එයින් මිදෙනු කැමැතිව, චිත්ත භාවනා වඩා, මේ මහග්ගත හෙවත් ධ්‍යාන සිත් උපදවා බොහෝ විවේකව වාසය කොට, නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ, මරණින් මතු බ්‍රහ්මලෝකයන්හි ඉපිද, දීර්ඝ කාලයක් බ්‍රහ්ම සම්පත් විඳින්නාහුය. තවද, ඇතැම් පුද්ගලයන් විසින්, ධ්‍යානයෙන් ලැබිය හැකි විවේක සම්පත්තිය දැන, මෙලොව දීම ධ්‍යාන සුව විඳිනු කැමැතිව, මේ ධ්‍යාන සිත් උපදවා ගනු ලැබේ.
නො හික්මුණු සිත, නොයෙක් කාම අරමුණු ගනිමින්, තැන්පත් කමක් නොමැතිව, නිතර කලබල සහිතව, ඉතා වේගයෙන් ඉපිද නිරුද්ධ වෙමින් මහත් වූ අවැඩ දුක් සාදන්නේය. මේ සිත යහ පත් අරමුණක ස්ථිරව පිහිටා ගැනීමෙන්, හික්මවා ගැනීමෙන් බොහෝ වැඩ සාදාගත හැකි වේ. සිත මනාව හික්මුණු කල්හි සමාධිය ඇති වේ. සසර පුරුදු කළ භාවනා ඇති කෙනෙක් නම් වහා ධ්‍යාන උපදවා ගෙන, ප්‍රඥා භාවනා ද වඩා විදර්ශනාඥානයන්ගේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කොට මාර්ගඵල ලබා සසරින් එතර වන්නේ ය. අප හැම දෙනා විසින් ම සසරින් මිදෙනු කැමැති නම්, එයට පූර්ව ප්‍රතිපදා වශයෙන් සමථ විදර්ශනා භාවනා වැඩිය යුතු බැවින් පළමුකොට මේ ධ්‍යාන සිත් පිළිබඳවත්, එය ලබන සැටිත්, උපදවන පිළිවෙලත් එහි ආනිශංසත් හොඳින් අවබෝධ කටයුතු වේ.
රූපාවචර සිත් පසළොස අතුරෙන් සිත් පහක් රූපාවචර කුසල් සිත්ය. සිත් පහක් රූපාවචර විපාක සිත්ය. ඉතිරි සිත් පහ රූපාවචර ක්‍රියා සිත්ය. මේ සිත් සියල්ලම ලෞකික සිත්ය. එසේම ඤාණ සම්ප්‍රයුක්තය, සෝභනය, සසංඛාරිකය.