අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආකාශානඤ්චායතන කුසල් සිත

ආකාශානඤ්චායතන නම් වූ පළමුවැනි අරූපාවචර ධ්‍යානය උපදවනු කැමැති යොගාවචර තෙමේ, මේ රූපයෙහි දොස් සොයන් නේ, මේ ශරීරය ඉතා දුක සේ පොෂ්‍ය කළ යුතු බවත්, එසේ ද වුවත් නොයෙක් ජරා, රෝග, ව්‍යාධි හටගන්නා බවත්, සතුරු උපද්‍රවාදීන් ගෙන් පෙළනු ලබන බවත්, නොයෙක් අන්තරාවන්ට මේ රූපය භාජනය වන බවත් යනාදී නොයෙක් ආදීනව දැක, මේ රූපයට පිළිකුල් කිරීම යුක්ති සහගත බවත් වටහා ගන්නේ ය. තව ද, රූපාවචර ධ්‍යාන උපදවා ගැනීමට උපකාර වූ, කසිණ මණ්ඩල යෙහි පැතිර පවත්නා වූ කසිණාලොක සඞ්ඛ්‍යාත රූපය ක්ලේශ යන් ගේ විෂ්කම්භන ප්‍රහාණියට උපකාර වූ ප්‍රණීත රූපයක් වූ නමුත් මේ ශරීරය මෙන් කසිණාලොක රූපය දුකට හේතු නො වන්නේ නමුදු, රූප වශයෙන් සමාන බැවින්, මේ කසිණා ලොක රූපය ද ශරීරය මෙන් භය උපදවන්නේ දෝ හෝයි සිතා කසිණා ලොකය දුරු කරන්නට උත්සාහ දරන්නේ ය. මෙසේ සිතා භාවනා වඩන් නාවූ යොගාවචර තෙමේ, කසිණාලොකය කැමැති ප්‍රදේශයක පතුරුවා, ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් ම කසිණාලෝකයෙන් පැතිර ගිය කල්හි මාගේ භාවනාවට පූර්වයෙහි මේ ආකාශයෙහි චන්ද්‍ර මණ්ඩල තාරකා රූපාදිය හොඳින් විද්‍යාමාන වූ නමුත්, දැන් මාගේ කසිණාලෝකයෙන් ඒ තාරකා රූපාදිය වැසී ගියේ යයි සිතා ඒ කසිණාලොකයෙහි නිකාන්තිය හෙවත් කැමැත්ත දුරු කොට, පළමු තිබුනා වූ තාරකා රූපාදිය දක්නට කැමැත්ත උපන් බැවින්, ඒ කසිණාලොකය එක් ප්‍රදේශයකින්, ජනේල කවුලුවක් විවෘත කළාක් මෙන්, අතුරුදහන් වී යයි. මෙයට කිසුණු ඉගුළු ආකාශය යයි කියනු ලැබේ. ඉක්බිති හෙතෙමේ කිසුණු ඉගුළු ආකාශය හෙවත් කසිණුග්ඝාටිකාමාකාශ ප්‍රඥප්තිය අරමුණු කොට ගෙන, “අනන්ත වූ ආකාශය, අනන්ත වූ ආකාශය” යනාදී වශයන් භාවනා වඩන කල්හි අනන්ත වූ ආකාශ ප්‍රඥප්ති අරමුණෙහි සිත එකඟ වූ කල්හි, අනන්ත වූ ආකාශ අරමුණ ප්‍රකටව වැටහී ධ්‍යාන චිත්ත වීථිය පහළ වීමෙන් පරිකර්මාදී මහා කුසල් සිත් සතරට පසුව, උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙකින් යුක්ත වූ ආකාශානඤ්චායතන කුසල් සිත එක් වරක් ඉපිද නිරුද්ධවීමෙන් නැවත භවාංග වේ.