අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අනාගාමි ඵල සිත

අනාගාමි මාර්ග කුසල් සිතට අනතුරුව අනාගාමි ඵල සිත් දෙකක් හො තුනක් ආනන්තරිය සමාධිය හා අකාලික විපාක වශයෙන් ද ඉපිද නිරුද්ධවීමෙන් පසු පළමු පරිදි චිත්ත සන්තතිය භවාඞ්ග වේ.

ධ්‍යානලාභි අනාගාමි ආර්‍ය්‍ය පුද්ගල තෙමේ මරණින් මතු පඤ්ච ශුද්ධාවාසයන්හි ඉපිද එහි දීම රහත්ව නිවන් දකී.

ශුෂ්ක විදර්ශක වූ අනාගාමි ආර්‍ය්‍ය පුද්ගල තෙමෙ දිවි හිමියෙන් ධ්‍යාන නො වඩා හිඳ කාලක්‍රියා කෙළේ වී නම් ඔහු ගේ කාමරාගය නැති බැවින්, කාම ලොකයෙහි ප්‍රතිසන්ධිය නො ගනී. හෙතෙමේ චුතියට පූර්ව භාගයෙහි චතුර්ත්ථ ධ්‍යානය ලබා එයින් චුතව ශුද්ධාවාසයන්හි උපදින්නේ ය. ස්ත්‍රීහු තුමූ, අනාගාමි වුව ද, එකවරට ශුද්ධා වාසයට නො යන්නාහ. ධ්‍යානලාභි ස්ත්‍රීන්ට නියම වූ බ්‍රහ්ම පාරිෂද්‍යයෙහි ඉපිද, එහි දී ම චතුර්ත්ථ ධ්‍යානය උපදවා, බ්‍රහ්ම පාරිෂද්‍යයෙන් චුතව, ශුද්ධා වාස භූමියෙහි උපදින්නේ ය.

පඤ්ච ශුද්ධා වාසයන්හි ඉපිද එහි නියමිත ආයු නො වළඳා, අතර මග දී රහත් ව පිරිනිවන් පානා අන්තරා පරිනිබ්බායි අනාගාමි පුද්ගලයා ද, නියමිත ආයු වළඳා රහත්ව පිරිනිවන් පානා උපහච්ච පරිනිබ්බායි අනාගාමි පුද්ගලයා ද, එහි දී විදර්ශනා භාවනා කිරීම් වශයෙන් උත්සාහ නොකොට රහත්ව පිරිනිවන් පානා අසංඛාර පරිනිබ්බායි අනාගාමි පුද්ගලයා ද, විදර්ශනා භාවනා කිරීම් වශයෙන් උත්සාහ කොට රහත්ව පිරිනිවන් පානා සසංඛාර පරිනිබ්බායි අනාගාමි පුද්ගලයා ද අවිහ බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද ක්‍රමයෙන් කැමැති පරිදි අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ තලය දක්වා ගොස් රහත්ව නිවන් දක්නා උද්ධංසොත අකිනිට්ඨගාමි අනාගාමි පුද්ගලයා ද යනාදී වශයෙන් නොයෙක් ප්‍රභේද වේ.