ධ්‍යානය
“ආරම්මණ උපනිජ්ඣාන” නම් වූ කසිණාදී අරමුණු කරා එලඹ සිහි නුවණින් යුක්තව බැලීම හෙවත් අරමුණු ලංකොට බැලීම යන අර්ථයෙන් ධ්‍යාන නම් වේ. විසිර පවත්නා, නොහික්මුණු සිතින් අරමුණු ඇති සැටි බැලීමට නොහැකි වේ. භාවනාවෙන් ලබාගත් සමාධියකින්ම, සිත එක අරමුණක ස්ථිරව පිහිටුවාගෙන, අරමුණ බැලිය යුතුයි. යම් කිසි වස්තුවක් හොඳ හැටි පරීක්ෂාකර බැලීමට කැමැති තැනැත්තා එම අරමුණ සමීපයෙහි තබා, අන් අරමුණු වලට සිත යොමු නොකොට, එම අරමුණෙහිම සිත ස්ථිරව පිහිටුවා බෙහෝ වේලා බලන්නේ වේද, ලං කොට බලන්නේ වේද වර්ණ සටහන් ආදිය නොයෙක් ආකාරයෙන් බලන්නේවේද, ඕහට ඒ වස්තුව හැම ආකාරයෙන් ම ඉතා පිරිසිදුව වැටහෙන්නේ ය, එමෙන් ම කාමයන්ගෙන් වෙන්ව, භාවනාවෙහි යෙදී, යම් පඨවි කසිණාදි අරමුණක සිත පිහිටුවාගෙන, ඒ අරමුණ හොඳ හැටි බලන්නේ වේද, බොහෝ වේලා සිහි නුවණින් යෙදී බලන්නේ වේද, ඕහට ඒ අරමුණෙහි සිත එකඟ කර ගැනීමෙන් එහි හැම ආකාරයක් ම පිරිසිදුව වැටහෙන්නේ ය. මෙසේ එක් තැන් කර ගත් සමාධි සිතින්, අන් අරමුණු වළක්වා, ධ්‍යාන අරමුණෙහි සිත රඳවා ගැනීම් වශයෙන් මේ ධ්‍යාන සිත පහළ වේ.
තවද “පච්චනික ධම්මෙ ඣාපෙතිති ඣානංයයි” කී පරිදි විරුද්ධ හෙවත් ප්රතිපක්ෂ නීවරණාදි ධර්මයන් දවන අර්ථයෙන් ද ධ්‍යාන නම් වේ. කුසලය වළක්වන, ධ්‍යානය වළක්වන, මාර්ගඵලාධිගමය වළක්වන, විරුද්ධ ධර්මයන් නීවරණ නම්. ඒ විරුද්ධ ප්‍රත්‍යයන් හෙවත් නීවරණයන් නැගී සිටිනතාක් කල්, කුසල් කිරීමට හෝ ධ්‍යාන ඉපදවීමට හෝ මාර්ගඵල ලැබීමට හෝ නො හැකි වේ.
මේ නීවරණ ධර්මයන්ගේ දැවීම හෙවත් ප්‍රහාණිය සතර ආකාරය කින් සිදුවේ. එනම්, තදංග ප්‍රහාණිය විෂ්කම්භණ ප්‍රහාණිය සමුචඡෙද ප්‍රහාණිය සහ පටිප්පස්සද්ධි ප්‍රහාණිය යන සතර ආකාරයෙනි.
තදංග ප්‍රහාණිය. කාමාවචර කුසල කර්මයන්ගේ ක්ලේශ ප්‍රහාණිය තදංග ප්‍රහාණි නම් වේ. කුසල් සිත්වලින් තම තමන්ට ප්රතිපක්ෂ වූ අකුසලයන් යටපත් කොට තබා ගනිති. කුසල් සිත් යම්තාක් පවතී නම්, ඒතාක් කල් විරුද්ධ වූ අකුසල ධර්මයන්ට නැගී සිටීමට අවකාශ නො ලැබෙන්නේ ය. අන්ධකාර රාත්‍රියක පහනක් දැල්වූ විට, ආලෝකය ඇති වී, අන්ධකාරය පහව යාමත්, පහන නිවීම සමඟම නැවත අන්ධකාරය මතු වීමත් සිදුවන්නාක් මෙන්, කාමාවචර කුසල් සිතින් අකුසල් නැසීම තදඞ්ග ප්‍රහාණි වශයෙන් සිදු වන්නේය. මේ තදඞ්ග ප්‍රහාණිය, මහග්ගත සිත් හෙවත් ධ්‍යාන සිත් ඇති වන චිත්ත වීථි වල සහ මාර්ග සිත් ඇතිවන මාර්ග චිත්ත වීථි වල ද, ඒ ධ්‍යාන හා මාර්ග සිත්වලට පූර්ව භාගයෙහි පහළවන පරිකර්ම, උපචාර, අනුලෝම ගොත්රභූ නම් වූ කාමාවචර මහා කුසල් සිත් විසින් ම සිදුකරනු ලැබේ.
විෂ්කම්භණ ප්‍රහාණිය නම් මහග්ගත චිත්තයන්ගේ ක්ලේශ ප්රහාණියයි. ධ්‍යාන සිත් පවත්නා කල්හි රාගාදී කෙලෙස් මතු නොවන් නේය. ජලයෙන් පිරී පවත්නා පොකුණක, දිය පිට හටගත්තා වූ, දිය සෙවෙල් ආදියෙන් වැසී තිබෙන්නා වූ ජලය, භාජනයකින් ගන්නා කල්හි හෝ දණ්ඩකින් හරණා කල්හි හෝ ඒ දියසෙවෙල් යම්සේ ඉවත්ව යෙත් ද, එපරිද්දෙන් රූපාවචර ධ්‍යානාදිය උපදනා කල්හි, චිත්ත නමැති ජලය වසා සිටි, ක්ලේශ නමැති දියසෙවෙල් ඈත්වයෙති. ඒ ධ්‍යානලාභි තැනැත්තාගේ සන්තානයෙහි යම්තාක් කල් ධ්‍යාන සිත් නොපිරිහී පවතීද ඒතාක් කල් රාගාදී කෙලෙස් දුරුව පවතිත්. යම් කලෙක ධ්‍යානයෙන් පිරිහී ගියේ වීනම්, නැවත වතුර නො ගන්නා වූ ජලයෙහි දියසෙවෙල් වැතිර පවත්නාක් මෙන් රාගාදී ක්ලේශයෝ නැවත මුවහ කර ගනිත්. මෙසේ ඇතිවන ක්ලේශ ප්‍රහාණිය විෂ්කම්භණ ප්‍රහාණිය යයි.
සමුච්ඡේද ප්‍රහාණිය නම් සතර ලොකොත්තර මාර්ග චිත්තයන්ගෙන් කෙලෙස් නැසීමය. සෝවාන් ආදී ඒ ඒ මාර්ගයන් විසින් නැසිය යුතු කෙලෙස් නැවත නුපදනා පරිද්දෙන් නැසීම, සමුච්ඡේද ප්‍රහාණිය නම් වේ. යම් වෘක්ෂයකට හෙන පහරක් වැදීමෙන්, ඒ ගසේ මුල් හා සමඟ විනාශ වන්නාක් මෙන්, ඒ ඒ මාර්ග සිත් වලින් ඒ ඒ අකුසලයන් ඉතිරි නො කොට හාත්පසින් ම සහමුලින්ම ප්රහාණය කෙරෙත්.
පටිප්පස්සද්ධි ප්‍රහාණිය නම් සතර ලෝකෝත්තර ඵල චිත්තයන්ගේ කෙලෙස් විඩා සන්සිඳ වීමය. එනම් මාර්ග සිතකින් නැසූ කෙලෙස් විඩා සන්සිඳු වීමක් වශයෙන් ඒ මාර්ග චිත්තයට අනතුරුව ඇතිවන ඵල සිත් වලින්, ඇතිවන සන්සිඳවීමය. යම් තැනෙක කුණු කසල ආදිය රැස් කොට ගින්නෙන් දවා අළු කොට, එහි උෂ්ණය සන්සිඳ වීම පිණිස පැන් කල දෙකක් හෝ තුනක් වත් කිරීමක් මෙනි. මෙකී ප්‍රහාණ විධි සතරින්, මේ රූපාවචර ධ්‍යාන චිත්තයෝ නීවරණාදී අකුසල ධර්මයන් විෂ්කම්භණය වශයෙන් නසන බව දත යුතුයි.
නීවරණ ධර්මයෝ පස් දෙනෙකි. එනම්,
- කාමච්ඡන්ද නීවරණය
- ව්‍යාපාද නීවරණය
- ථීනමිද්ධ නීවරණය
- උද්ධච්ච කුක්කුච්ච නීවරණය
- විචිකිච්ඡා නීවරණය
කාමච්ඡන්දය යනු කාම වස්තූන් පිළිබඳ වූ බලවත් ආශාවට හෙවත් තෘෂ්ණාවට කියන නමෙකි. කාම තෘෂ්ණාව, සත්ත්වයා කාමභවයෙහි අලවා මහත් දුකට පමුණුවන කුසලයට බාධා කරණ, සමාධියට විපක්ෂ නීවරණ ධර්මයෙකි. මේ කාම තණ්හාවෙන් මිදෙනු කැමැති පුද්ගලයා, කාමයන්ගෙන් වෙන් වූ, විවේකස්ථානයකට පැමිණ, භාවනා කර්මයට යෝග්‍ය වූ අරමුණක් හෙවත් කර්මස්ථානයක් ගෙණ, භාවනා කොට සිතෙහි එකඟ බව හෙවත් එකග්ගතාවය උපදවා ගන්නේ ය. එකග්ගතාවය දියුණු වූ කල්හි සමාධිය ලැබෙන්නේ ය. මේ එකග්ගතා චෛතසිකය කාමච්ඡන්දය දැවීම පිණිස අඞ්ගයක් වශයෙන් ධ්‍යාන සිතෙහි යෙදෙන්නේ ය.
ව්‍යාපාදය යනු බලවත් ක්‍රෝධයට හෙවත්, වෛරයට කියන නමෙකි. මේ ව්‍යාපාදය, සිත් දූෂ්‍ය කරවන, කුසලයට බාධා කරණ නීවරණ ධර්මයකි. ප්‍රීතියෙන් හෙවත් සතුටින් සිටින අවස්ථාවක ක්‍රෝධය මතු නොවන බැවින්, ප්‍රීතිය ව්‍යාපාදයට විරුද්ධ වූ ධර්මයකි. භාවනානුයෝගී පුද්ගල තෙමේ කමටහන් අරමුණෙහි සිත මනාකොට පිහිටුවා, අරමුණ ඉතා ප්රකටව සිතට වැටහුණු කල්හි, උපදනා බලවත් ප්‍රීතිය හේතු කොට ගෙණ ව්‍යාපාදයට නැගී සිටීමට අවකාශ නොදී, ව්‍යාපාදය විෂ්කම්භණ ප්‍රහාණි වශයෙන් දවනු ලැබේ. මේ ප්‍රීති චෛතසිකය ධ්‍යානාඞ්ගයක් වශයෙන් ධ්‍යාන සිතෙහි පහළ වන්නේ ය.
ථීනමිද්ධය යනු විත්ත චෛතසිකයන්ගේ මලානික බවට හෙවත් මැලි බවට කියන නමෙකි. ක්ලාන්ත වූ පුද්ගලයා බරක් උසුලා ගත නො හැකිව බිම වැතිර සිටින්නාක්මෙන්, ථීනමිද්ධයෙන් පෙළනු ලැබූ තැනැත්තා, යහපත් අරමුණු ලංකොට බැලීමට නො හැකිව ක්ලාන්තව සිටී. යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් පැමිණ ක්ලාන්ත වූ පුරුෂයා අවදි කරවා උනන්දු කරවා, බර කරට උසුලා දී අභිමත තැනකට සැප සේ යාමට සලස්වන්නේ වේද, එමෙන්ම අරමුණෙහි සිත නැංවීමට ශක්තිය ඇති විතර්ක නම් චෛතසිකය, බලවත්ව හටගැනීමෙන් ථීනමිද්ධ නම් වූ නීවරණය දවා, අරමුණෙහි සිත මනාකොට පිහිටුවා ගැනීමට උපකාර වන්නේ ය. මේ විතර්ක චෛතසිකය ද ධ්‍යානාඞ්ගයක් වශයෙන් ධ්‍යාන සිතෙහි පහළවන්නේය.
උද්ධච්ච කුක්කුච්චය උද්ධච්චය නම් සිතෙහි නොසන්සුන් බවය. කුක්කුච්චය නම් පසුතැවිල්ලය. මේ දෙකෙහිම, ප්‍රති පක්ෂ ධර්ම යන් සමාන බැවින්, එක්කොට ගෙන උද්ධච්ච කුක්කුච්ච නීවරණ යයි දක්වනු ලැබේ. මානසික දුකින්පෙළනු ලැබූ පුද්ගලයාගේ නොසන්සුන් බවත්, පසුතැවිල්ලත් ප්රකටය. යම් පරිද්දෙකින් සිතෙහි සුවපත් බවත් දියුණු බවත් ඇති කර ගැනීමට හැකි වී නම්, එවිට නොසන්සුන් බව සහ පසුතැවිල්ලද පහවී යෙත්. භාවනා අරමුණෙහි සිත මනාව පිහිටුවා ගැනීමේ දී ඇතිවන ප්‍රීතිය නිසා සිතෙහි යම් සුවපත් බවක්, මහත් බවක් ඇතිවේ නම්, සියුම් සොම්සක් වූ මේ මානසික සැප වේදනාවට සුඛයයි කියනු ලැබේ. එබැවින් මේ සුඛය, ධ්‍යානාඞ්ගයක් වශයෙන් ධ්‍යාන සිත්හි ඇතිවෙමින් උද්ධච්ච කුක්කුච්ච නීවරණය ද දවන්නේය.
විචිකිච්ඡා යනු බුද්ධාදී අටතැන පිළිබඳ සැකය වේ. මේ විචිකිච්ඡාව, කුසලය වළක්වන හෙයින් නීවරණයකි. යමක් සැක හැර දැන ගැනීමට නම්, එම අරමුණෙහි සිත මනාකොට හසුරුවා බැලිය යුතු වේ. බලවත් වූ විතර්කයෙන් අරමුණෙහි නැංවූ සිත ඒ අරමුණෙහි හැසිරවීම විචාරය නම්. මේ විචාර චෛතසිකය බලවත්ව අරමුණෙහි හසුරුවමින් මනා කොට පරීක්ෂාවෙන් බලන්නා හට, ඒ පිළිබඳ සියලුම සැක දුරු වන්නේය. එබැවින් මේ විචාර නම් වූ චෛතසිකය ධ්‍යානාඞ්ගයක් වශයෙන් ධ්‍යාන සිත්හි ඉපිද විචිකිච්ඡා නීවරණය දුරු කරන්නේ ය.
මෙසේ භාවනාවෙහි යෙදී සිටින යෝගාවචර තෙම, මෙකී ධ්‍යානාඞ්ග පස උපදවා, ඒ ඒ ධ්‍යානාඞ්ගයන් විසින් ප්‍රහීණ කළයුතු පඤ්ච නීවරණ ධර්මයන්, ක්‍රමයෙන් දුරු කොට ධ්‍යාන සිත් පිළිවෙලින් උපදවා ගන්නේය.