කුසල් සිත සෝමනස්ස වීමට හේතු නම්
- සෝමනස්ස සිතකින් ප්රතිසන්ධිය ලබා සිටීම.
- ශ්‍රද්ධාව බහුලව ඇති වීම.
- පිරිසිදු සම්‍යග්දෘෂ්ටිය ඇති වීම.
- කුසල කර්මයන්හි ඵල විපාක දැනීම.
- ඉෂ්ට අරමුණු ලැබීම.
- රෝගපීඩාදි උපද්‍රවයන්ගෙන් වැළකීම.
මෙයින් යම් කරුණක් අඩුවීනම්, ඒ කුසල්සිත උපෙක්ඛා සහගත වේ. මෙසේ වේදනා භේදයෙන් මහා කුසල් සිත් සෝමනස්ස සහගත, උපෙක්ඛා සහගත යයි දෙකොටසකට බෙදනු ලැබේ.
තවද, කුසල් කිරීමේදී ඤාණය හෙවත් අමෝහ සඞ්ඛ්‍යාත පඤ්ඤේන්ද්රිය චෛතසිකය යෙදුනවිට, ඒ සිත ඤාණ සම්ප්‍රයුක්ත සිතක් වේ. ඤාණය නො යෙදුන සිත් ඤාණ විප්‍රයුක්ත සිත් නම්. මෙසේ ඤාණ භේදයෙන් ද, කුසල් සිත් ඤාණ සම්ප්‍රයුක්ත, ඤාණ විප්‍රයුක්ත යයි දෙකොටසකට බෙදනු ලැබේ.
කර්ම හා කර්ම විපාක විශ්වාස කිරීමද, හේතුඵල ධර්මයන් විශ්වාස කිරීම ද, ධර්මාර්ථ හොඳ හැටි දැනීම ද, පාපයන් ගෙන් වළකින උපාය දැනීම ද ඤාණය නම් වේ. මේ ඤාණය හෙවත් ප්‍රඥාව සමඟ යෙදුන සිත ඤාණ සම්ප්‍රයුක්ත සිතකි. ලෞකික ශාස්ත්‍ර ආදිය පිළිබඳ මනා දැනීමක් ඇති, උගත් තැනැත්තා ඤාණවන්තයා යයි සාමාන්‍ය ලෝකයා විසින් පිළිගනු ලැබේ. නමුත් ඔහුගේ ඒ ඤාණවන්තකම නොයෙක් අකුසල් කිරීමටත්, තමන්ටත් අනුන්ටත් අයහපත සිදු කිරීම පිණිසත් පවතින්නට බැරිකමක් නැත. සතුන් මැරීම, මැරීමට උපකාර වන නොයෙක් අවි ආයුධ තැනීම, විෂ ද්‍රව්‍ය සෑදීම යනාදී නොයෙක් විපත් සලසන කටයුතු කිරීම මේ අයගෙන් සිදු වේ. කුසල් සිත්හි ඇතිවන ඤාණය මෙය නොවේ. ධර්මයේ සැටියට ඤාණවන්තයා කුසල් අකුසල් දැන අකුසලින් වෙන්වීමට උත්සාහ කරන්නේ ය. තමන්ටත් අනුන්ටත් යහපතක්ම සිදු කරන්නේ ය. සසර දුක් දැන එයින් මිදීමට වීර්‍ය්‍ය කරන්නේ ය. නුවණින් පමණක් නොව ගුණයෙන් ද උසස් වීමට උත්සාහ දරන්නේ ය. කුසල් සිත්හි යෙදෙන ඤාණය මෙබඳු යයි සැලකිය යුතුයි.
තවද, කොපමණ ආදර ගෞරවයෙන් අනුන්ට සංග්‍රහ කළත්, කණ බොන දෑ සපයා දුන්නත් ගේ දොර සාදා දුන්නත්, කම්ඵල නො අදහන්නේ නම්, ඕ හට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් ඇති නොවේ, මෙකී යහපත් කටයුතු කරණ ඔහුට ලැබෙන්නේ ද්විහේතුක ඤාණ විප්‍රයුක්ත කුසල් සිත් පමණ ය. පෙර ජාතිවල, ප්‍රඥාව ලැබීම පිණිස උපකාර වන කුසල්; එනම්, ධර්මවිනය ඉගෙනීම, ධර්මය කියාදීම, ධර්ම දේශකයන්ට සත්කාර කිරීම, ධර්මය ඉගෙණගන්නවුන්හට උපකාර කිරීම, නිරවද්‍ය ශිල්පශාස්ත්‍ර ඉගෙණීම යනාදී කුසල් කොට, ප්‍රාර්ථනා බලයක් ඇතිව උපන් පුද්ගලයන්ට මේ ඤාණය පහළ වන්නේ ය. තවද ප්රඥාදසකයට පැමිණ මුහුකළ නුවණක් ද තිබිය යුතුය. දානාදි පින්කම් කිරීමේ දී ලෝභ දොෂ, මෝහයන්ගෙන් ඒ කුසල චිත්තය පිරිවරකොට නොගතයුත්තේ ය. එනම් කුසලය කිරීමට පෙරත් කුසල් කළ පසුත් ඉතා පිරිසිදු සිත් පහළ කර ගත යුතුය. මේ ආදී කරුණු සම්පූර්ණ වූ විට උත්කෘෂ්ට ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් උපදී.
ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිතක් ඇතිවීමට උපකාරවන කරුණු නම්:
- ත්‍රිහේතුක මහා විපාක සිතකින් ප්රතිසන්ධිය ලැබීම.
- ශ්‍රද්ධා ආදී ධර්මයන්ගේ මේරීම.
- අකුසල් කෙරෙන් ඈත්වීම.
- නුවණ වැඩෙන කටයුතු කිරීම.
මෙකී කරුණු අඩුවී නම් ඤාණ විප්‍රයුක්ත සිත් ඇති වේ.
ඉහත දක්වන ලද පරිදි කර්මඵල ආදිය, නුවණින් යුක්තව මෙනෙහි කිරීමට නො හැකි වූ, පුරුද්දෙන් දන්දීම, සිල් සමාදන්වීම, මල්පිදීම, පූජා පැවැත්වීම ආදී පින්කම් කරන විට ඇතිවන්නේ මේ ඤාණ විප්‍රයුක්ත සිත්ය. කුඩා ළදරුවන් මව්පියන් අනුව විහාරයට යෑම, ගාථා කියා වැඳීම, දන් පිළිගැන්වීම යනාදිය කරන්නේත් මේ ඤාණ විප්‍රයුක්ත සිතින් ය.
මෙහෙයීමක්, අනුබලයක්, උනන්දුකරවීමක් නො මැතිව කුසල් කරන විට අසංඛාරික කුසල් සිත් ද, මෙහෙයීමක්, උනන්දු කරවීමක් ඇති විටෙක සසංඛාරික සිත් ද ඇති වේ. දන් දීමේ දී, ඒ දාන වස්තුව, අලෝභ චේතනාව පෙරදැරි කොට, කරුණාවෙන්, පිළි ගන්නා තැනත්තාගේ අතට දෙන්නේ වේද, ඒ දානයෙන් ලැබෙන කුසලානි ශංසයන් ඒකාන්තයෙන් ම ලැබේවායි යන ස්ථිර අදහසක් ද ඇති වූයේ නම්, ඒ සිත අසංඛාරික වන්නේ ය. අනුන් සතුටු කරවන අදහසින් හෝ අනුන් ගේ නියෝගයකින් හෝ දානය පිළිගැන්වීමේදී සසංඛාරික සිත් උපදී.
සැකෙවින් මේ කුසල් සිත් අට උපදින සැටි මෙසේ දතයුතු යි.
- මල් පහන් පිදීම්, දන්දීම්, සිල්රැකීම් ආදී පින්කම් ඉතා සතුටින්, ශ්‍රද්ධාව පෙරදැරි කොට, ආනිශංසද දැන, මෙහෙයීමක් නො මැතිව කරන කල්හි පළමුවෙනි සෝමනස්ස සහගත ඤාණ සම්ප යුත්ත අසංඛාරික සිත උපදී.
- එයම මෙහෙයීමක් ඇතිව කරණකල්හි දෙවෙනි සෝමනස්ස සහගතඤාණ සම්පයුත්ත සසංඛාරික සිත උපදී.
- කර්මඵල, ආනිශංස ආදිය සිහි නොකොට, පුරුද්දක් වශයෙන්, මෙහෙයීමක් නො මැතිව, කුසල් කරණ කල්හි තුන්වෙනි සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික සිත උපදී.
- මේ ලෙසින් මෙහෙයීමක් ඇතිව කරණ කල්හි සතර වැනි සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික සිත උපදී.
- පින්කම් කිරීමේ දී අදහස් පරිදි සතුටුවීමට බාධා ඇතිවුවත් නුවණින් යුක්තව, මෙහෙයීමක් නොමැතිව කරණ කල්හි පස්වැනි උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික සිත උපදී.
- එයම මෙහෙයීමක් ඇතිව කරණ විට සවෙනි උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසංඛාරික සිත උපදී.
- සතුටත් නැතිව, නුවණින් තොරව, මෙහෙයීමක් නැතිව කුසල් කරණ කල්හි සත්වන උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංඛාරික සිත උපදී.
- එසේම අනුන්ගේ මෙහෙයීමකින් කරණ කල්හි අට වැනි උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාරික සිත උපදී.
දානයක් දීමට අදහස් කළ මොහොතේ පටන්, දන්දී අවසන් වනතෙක්, අන්කිසි සිතක් ඇති නොවී, මේ කුසල් සිත්ම ඇතිවන බව නො සිතිය යුතුයි. එමෙන්ම අට සිල් සමාදන් වූ තැන් පටන් පසුදින උදේ සිල්පවාරණය තෙක් මේ කුසල් සිත් හැර අන් සිතක් පහළ නො වන බව ද නොසිතිය යුතුයි. පින්කම් කිරීමේ දී, ඒ පින්කම ගැන සිහියෙන් යුක්තව සිටින මොහොතේ පමණක් ඇතිවන චිත්තවීථිවල, මේ සිත් අටෙන් එකක් ජවන් හෙවත් කර්ම සිත් වශ යෙන් හත්වර බැගින් ඉපිද නිරුද්ධවෙන බව දත යුතුයි. මේ අතර ඊර්ෂ්‍යා, මාන ආදී පාප අදහසක් හෝ පින්කමකට සම්බන්ධ නැති විරුද්ධ අදහස් හෝ පහළවීමෙන් මේ පින්කම ද ඒ අකුසල් සිත් නිසා දුර්වල වන්නේය. මේ බැව් සලකා හැකිතාක් සිහියෙන් යුක්තවම කුසල් කිරීමට සිත්හි තබාගත යුතුය.