අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

1. සද්ධර්මය හා ආර්ය සඞ්ඝයා සහිත අතුල්‍යවූ සම්මා සම්බුදුන් වහන්සේ වෙසෙසින් නමස්කාර කොට අභිධර්මාර්ත්ථ සංග්‍රහ නම්වූ ග්‍රන්ථය කියමි.

2. අභිධර්මදෙශනයෙහි සර්වප්‍රකාරයෙන් වදාළ අභිධර්මාර්ත්ථ යෝ, චිත්ත, චෙතසික, රූප, නිබ්බාන යයි පරමාර්ථ වශයෙන් චතුර්විධ වෙ.

3. එයින් චිත්තය තෙම, කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකුත්තර යයි සතර වැදෑරුම් වේ.

4. එහි කාමාවචර චිත්තය කවරේද? සොමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි, සොමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි. සසඞ්ඛාරික චිත්තය එකකි, උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි, උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි. මේ අට දෙන ද ලොභ සහගත චිත්තයෝ නම් වෙත්.

5. දොමනස්ස සහගත පටිඝසම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි, මේ දෙදෙන ද පටිඝ සම්ප්‍රයුක්ත චිත්තයෝ නම් වෙත්.

6. උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත එකකි, උපෙක්ඛා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත එකකි. මේ දෙදෙනද මෝමූහ චිත්තයෝ නම් වෙත්.

7. මෙසේ සර්වප්‍රකාරයෙන් දොළොස් අකුසල චිත්තයෝ සමාප්තයහ.

8. ලොභමූල සිත් අටය, දොසමූල සිත් දෙකය, මොහ මූල සිත් දෙකයයි අකුසල් සිත් දොළොසෙක් වෙත්.

9. උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණයද, එසේම සොත විඤ්ඤාණය ද, ඝාණ විඤ්ඤාණය ද, ජිව්හා විඤ්ඤාණය ද, දුක්ඛ සහගත කායවිඤ්ඤාණය ද, උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තයද, උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තයද, යන මේ සත් දෙන අකුසල විපාක චිත්තයෝ නම් වෙත්.

10. උපෙක්ඛාසහගත කුසලවිපාක චක්ඛුවිඤ්ඤාණය ද, එසේම සොත විඤ්ඤාණය ද, ඝාණ විඤ්ඤාණය ද, ජිව්හා විඤ්ඤාණය ද, සුඛසහගත කායවිඤ්ඤාණය ද, උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තයද, සොමනස්ස සහගත සන්තීරණ චිත්තය ද, උපෙක්ඛා සහ ගත සන්තීරණ චිත්තය ද යන මේ අට දෙන කුසල විපාක අහේතුක චිත්තයෝ නම් වෙත්.

11. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන චිත්තයද, එසේම මනොද්වාරාවජ්ජන චිත්තය ද, සොමනස්ස සහගත හසිතුප්පාද චිත්තයද, යන මේ තිදෙන අහේතුක ක්‍රියා චිත්තයෝ නම් වෙත්.

12. මෙසේ සර්වප්‍රකාරයෙන් අටළොස් අහේතුක චිත්තයෝ සමාප්තයහ.

13. අකුසල විපාක සිත් සතය, කුසල විපාක සිත් අටය, ක්‍රියා සිත් තුනය යි අහේතුක චිත්තයෝ අටළොසෙක් වෙත්.

14. අකුසල් සිත් සහ අහේතුක සිත් කෙරෙන් මුක්ත වූ එකුන් සැටක් වූ හෝ අනූඑකක් වූ හෝ චිත්තයෝ සෝභන සිත් යයි කියනු ලැබේත්.

15. සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි, සසඞ්ඛාරික සිත එකකි. සොමනස්ස සහගත ඤාණවිප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි, උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි, සසඞ්ඛාරික චිත්තය එකකි, උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තය එකකි. සසඞ්ඛාරික චිත්තය එකකි. මේ අට දෙන කාමාවචර කුසල් සිත් නම් වෙත්.

16. සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි, සසඞ්ඛාරික සිත එකකි. සොමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි, උපෙක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි. උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි. මේ අට දෙන ද සහේතුක කාමාවචර විපාක සිත් නම් වෙති.

17. සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි. සොමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි, උපෙක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි, සසඞ්ඛාරික සිත එකකි. උපෙක්ඛා සහගත ඤාණ විප්‍රයුක්ත අසඞ්ඛාරික සිත එකකි. සසඞ්ඛාරික සිත එකකි. මේ අට දෙන ද සහේතුක කාමාවචර ක්‍රියා සිත් නම් වෙත්.

18. මෙසේ සර්වප්‍රකාරයෙන්ම සූවිස්සක් (24) වූ සහේතුක කාමාවචර කුසල විපාක ක්‍රියා සිත් සමාප්තයහ.

19. සහේතුක කාමාවචර කුසල විපාක ක්‍රියා සිත් වේදනා, ඤාණ, සඞ්ඛාර භේදයෙන් සූවිස්සෙකැයි දන්නා ලදහ.

20. කාමාවචර විපාකසිත් තෙවිස්සකි (23), කුසලාකුසල සිත් විස්සකි, ක්‍රියාසිත් එකොළොසෙකි. මෙසේ සර්වප්‍රකාරයෙන් සූපනසෙක් (54) වේ.

21. විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන කුසල් සිත, විචාර පීති සුඛ එකග්ගතා සහිත දුතියධ්‍යාන කුසල් සිත, පීති සුඛ එකග්ගතා සහිත තෘතියධ්‍යාන කුසල් සිත, සුඛ එකග්ගතා සහිත චතුර්ථධ්‍යාන කුසල් සිත, උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමධ්‍යාන කුසල් සිත යන මේ පස් දෙන ද රූපාවචර කුසල් සිත් නම් වෙත්.

22. විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන විපාක සිත, විචාර පීති සුඛ එකග්ගතා සහිත දුතියධ්‍යාන විපාක සිත, පීති සුඛ එකග්ගතා සහිත තෘතියධ්‍යාන විපාක සිත, සුඛ එකග්ගතා සහිත චතුර්ථධ්‍යාන විපාක සිත, උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමධ්‍යාන විපාක සිත යන මේ පස් දෙන ද රූපාවචර විපාක සිත් නම් වෙත්.

23. විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන ක්‍රියා සිත, විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත දුතියධ්‍යාන ක්‍රියා සිත, ප්‍රීති සුඛ එකග්ගතා සහිත තෘතියධ්‍යාන ක්‍රියා සිත, සුඛ එකග්ගතා සහිත

චතුර්ත්ථධ්‍යාන ක්‍රියා සිත, උපෙක්ඛා එකග්ගතා සහිත පඤ්චමධ්‍යාන ක්‍රියා සිත යන මේ පස් දෙන ද රූපාවචර ක්‍රියා සිත් නම් වෙත්.

24. මෙසේ සර්වප්‍රකාරයෙන් ම පසළොසක් වූ රූපාවචර කුසල විපාක ක්‍රියා සිත් සමාප්තයහ.

25. රූපාවචර චිත්තය ධ්‍යාන භෙදයෙන් පස් වැදෑරුම් වේ. එය කුසල විපාක ක්‍රියා භෙදයෙන් පසළොස් වැදෑරුම් වේ.

26. ආකාසානඤ්චායතන කුසල් සිත, විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත, නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත යන සතර දෙන ද අරූපාවචර කුසල් සිත් නම් වෙත්.

27. ආකාසානඤ්චායතන විපාක සිත, විඤ්ඤාණඤ්චායතන විපාකසිත, ආකිඤ්චඤ්ඤායතන විපාකසිත, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන විපාක සිත යන සතර දෙන ද අරූපාවචර විපාක සිත් නම් වෙත්.

28. ආකාසානඤ්චායතන ක්‍රියා සිත, විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත, ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා සිත, නෙව සඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිත යන සතර දෙන ද අරූපාවචර ක්‍රියා සිත් නම් වෙත්.

29. මෙසේ සර්වප්‍රකාරයෙන් දොළොසක් වූ අරූපාවචර කුසල් විපාක ක්‍රියා සිත් සමාප්තයහ.

30. ආරම්මණ භෙදයෙන් අරූපාවචර සිත සතර වැදෑරුම් වේ. නැවත කුසල විපාක ක්‍රියා භෙදයෙන් දොළොස් ආකාරයකින් සිටි යේය.

31. සෝතාපත්ති මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමී මාර්ග සිත, අරහත්ත මාර්ග සිත යන මේ සතර දෙන ලොකොත්තර කුසල් සිත් නම් වෙත්.

32. සෝතාපත්ති ඵල සිත, සකදාගාමි ඵල සිත, අනාගාමි ඵල සිත, අරහත්ත ඵල සිත යන මේ සතර දෙන ලොකෝත්තර විපාක සිත් නම් වෙත්.

33. මෙසේ සර්වප්‍රකාරයෙන් ලොකොත්තර කුසල විපාක සිත් අට සමාප්තයහ.

34. සතර මාර්ගයාගේ භෙදයෙන් ලොකෝත්තර කුසලය චතුර් විධ වේ. විපාකය ඒ කුසලයාගේ ම ඵලය බැවින් සතර විධ

වේ. මෙසේ ලොකෝත්තර සිත අට වැදෑරුම් යයි දන්නා ලදී.

35. අකුසල් සිත් දොළොසෙකි. කුසල් සිත් එක් විස්සෙකි. විපාක සිත් සතිසෙකි (36). ක්‍රියා සිත් විස්සෙකි.

36. කාමාවචර සිත් සූපනසෙක (54), රූපාවචර සිත් පසළොසෙක, අරූපාවචර සිත් දොළොසෙක, ලොකෝත්තර සිත් අටෙක.

37. මෙසේ කියන ලද ප්‍රභෙදයෙන් සිත් එකුන් අනූ (89) වෙක. ප්‍රාඥයෝ එය එක්සිය විසිඑකක් කොට බෙදත්.

38. එකුන් අනූ ප්‍රභෙද ඇති සිත එක් සිය විසි එකක් වන්නේ කෙසේ ද? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන සෝතාපත්ති මග්ග සිත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත දුතියධ්‍යාන සෝතාපත්ති මග්ග සිත, පීති සුඛ ඒකග්ගතා සහිත තෘතියධ්‍යාන සෝතාපත්ති මග්ග සිත, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථධ්‍යාන සෝතා පත්ති මග්ග සිත, උපෙක්ඛා ඒකග්ගතා සහිත පඤ්චමධ්‍යාන සෝතා පත්ති මග්ග සිත යන පස් දෙන සෝතාපත්ති මාර්ගසිත් නම් වෙත්.

39. එසේ ම සකදාගාමි මග්ග සිත ද, අනාගාමි මග්ග සිත ද, අරහත්ත මග්ග සිත ද එක්වීමෙන් මාර්ග සිත් විස්සෙක් වේ. එසේම ඵලසිත් ද විස්සෙක. මෙසේ ලොකොත්තර සිත් සමසතළිසෙක් (40) වෙති.

40. ධ්‍යානාඞ්ගයොග භෙදයෙන් එක් එක් ලොකෝත්තර චිත්තය පස් පස් වැදෑරුම් කොට ලොකොත්තර සිත් සතලිස් වැදෑරුම් වන්නේ යයි කියනු ලැබේ.

41. ප්‍රථමධ්‍යානාදි භෙදයෙන් රූපාවචර චිත්තය යම් සේ ගනු ලැබේ ද, එසේ ම ලොකෝත්තර සිත ද, එම ධ්‍යාන භෙදයෙහිලා ගනු ලැබේ. අරූපාවචර චිත්තය පඤ්චම ධ්‍යානයෙහිලා ගනු ලැබේ. එහෙයින් ප්‍රථම ධ්‍යානාදී එක් එක් ධ්‍යානයක් හා යෙදෙන චිත්තය එකළොස් එකොළොස් (11) වැදෑරුම් වේ. අන්තිම වූ පඤ්චමධ්‍යානය හා යෙදෙන චිත්තය තෙවිසි (23) වැදෑරුම් වේ.

42. කුසල් සිත් සත්තිසෙකි (37). එසේම විපාක සිත් දෙපනසෙකි (52). මෙසේ ප්‍රාඥයෝ සිත් එක් සිය විසි එකක් (121) කීහු.

මෙසේ අභිධර්මාර්ත්‍ථ සංග්‍රහයෙහි චිත්තසඞ්ගහ විභාගනම් වූ ප්‍රථම පරිච්ඡෙදය නිමි.

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස