අහේතුක ක්‍රියා සිත් තුන
අහේතුක සිත් සංඛ්‍යාවට ගැණෙන මේ ක්‍රියා සිත් තුන, කුසලා කුසල හේතු සයෙන් එකක් සමගවත් යෙදී නැති හෙයින් අහේ තුක වෙති. මේ සිත්වල, කර්ම සිත් මෙන් විපාක ගෙණ දෙන ශක්තියක් නැත. එහි ඇත්තේ ක්‍රියා මාත්‍රයක් පමණ ය.
උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන සිත
චක්ඛුද්වාරය, සොතද්වාරය, ඝාණද්වාරය, ජිව්හද්වාරය, කායද්වාරය යන දොරටු පහෙන් හෙවත් පඤ්චද්වාරයෙන් වැද ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බ යන අරමුණුවලට සිත් පරම්පරාව යොමු කිරීමක් වශයෙන් පහළවන සිත පඤ්චද්වාරා වජ්ජන සිත නම්. චක්ඛුවිඤ්ඤාණාදි විඤ්ඤාණ සිතක් ඉපදීමට පෙර, මේ පඤ්චද්වාරාවජ්ජන සිත, ආවර්ජන කෘත්‍ය සිද්ධ කරමින් ඉපිද නිරුද්ධ වේ. මේ සිත ඇති වන්නේ හෘදය වස්තු රූපය ආශ්‍රය කරගෙනය එහි අරමුණ එම චිත්තවීථිය ඉපදීමට හේතුවූ අළුත් වර්තමාන රූපාදි අරමුණු වලින් එකෙකි. නමුත් මේ සිතට අරමුණ හැඳින ගැනීමට ශක්තියක් නැත. එයට පසුව ඇතිවන චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ සිතින්ම අරමුණ දැන ගන්නේ වේ. මේ සිත දුර්වල ක්‍රියා සිතක් බැවින් උපෙක්ඛා වේදනාවෙන් යුක්තය.
උපෙක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිත
සිතින් ම හෙවත් මනෝද්වාරයෙන් ම ගන්නා අරමුණු වලට සිත් පරම්පරාව යොමු කිරීම් වශයෙන් උපදින සිත මනෝද්වාරාවජ්ජන සිත නමි. පඤ්චද්වාරයෙන් ගනු ලබන රූපාදි අරමුණු හැර අන් සියළු අරමුණු මනෝද්වාරයෙන් හෙවත් සිතින් ම ගනු ලැබේ. මනෝද්වාරික චිත්තවීථියක භවාඞ්ග සිත බිඳිමත් සමගම මේ සිත ආවජ්ජන කෘත්‍යය සිද්ධ කරමින් ඉපිද නිරුද්ධ වූවායින් පසු ජවන් සිත් පෙළ ඇති වේ. තවද මේ සිත පඤ්චද්වාර චිත්තවීථී යෙහිදී, අරමුණු විමසා බැලීම නම් වූ සන්තීරණ කෘත්‍යය සිද්ධ කරන සන්තීරණ සිත ඉපිද නිරුද්ධ වූවායින් පසු, ඒ අරමුණ මෙබඳු යයි ස්ථිර වශයෙන් නිශ්චය කිරීම හෙවත් වොට්ඨපන කෘත්‍ය සිද්ධ කර මින් උපදින්නේ ය. එවිට ඒ සිතට වොට්ඨපන සිත යයි ද කියනු ලැබේ. මේ ආවජ්ජන සිත් දෙකම චිත්ත වීථියේ මුල් අවස්ථාවේ උපදින හෙයින් දුර්වලය. කුසල් හෝ අකුසල් වීමට නුපුළුවන් බැවින් ක්‍රියා සිත් ම වේ. මේ සිත් දෙකම උපෙක්ඛා සහගතය.
සොමනස්ස සහගත හසිතුප්පාද සිත
හසිතය යනු මද සිනහවට නමෙකි. සිනහ පහළ කිරීම් වශ යෙන් උපදින සිත හසිතුප්පාද සිත නමි. සිනහ පහළ කිරීමේදී සතුටක් ඇතිවන හෙයින් එහි වේදනාව සොම්නස වේ. සිනහ පහළ කිරීමට පමණක් මේ සිත රහතන් වහන්සේලාට ඇති වන හෙයින් එය ක්‍රියා සිතක් වේ. යම් පුද්ගලයකු ගේ සසර ගතියක් දැක, තමන්වහන්සේ ඒ ගතියෙන් මිදුණේ යයි යනාදී වශයෙන් සතුටක් ඇති වන කල්හි මද සිනහ පහළ කරවන මේ සිත ජවනකෘත්යය සිද්ධකරමින් උපදී. අලෝභ, අදෝෂ, අමොහ යන කුසල හේතු කිසි වක් මේ සිතෙහි යෙදී නැති හෙයින් දුර්වල වූ අහේතුක සිතක් ම වේ.
සිනහ පහළ කරන්නා වූ සිත් තවත් ඇත. ප්‍රිය වූ කාම අරමුණක් ලත් විටෙක හටගන්නා සොම්නස් සිත් වලින්, එනම් ලෝභ මූල සොමනස්ස සහගත සිත් සතර, සොමනස්ස මහා කුසල් සතර සහ මහා ක්‍රියා සතර ද යන සිත් දොළොසින් ද, සිනහ පහළ කිරීම සිදුවේ. එයින් පෘථග්ජනයන්ට සොමනස්ස ලෝභමූල සිත් සතර සහ සොමනස්ස මහා කුසල් සතර ද ශෛක්ෂයන්ට හෙවත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මාර්ග ඵලස්ථ පුද්ගල යන්ට සොමනස්ස දිට්ඨිගත විප්‍රයුක්ත සිත් දෙක සහ සොම්නස් මහා කුසල් සතර ද ඇති වේ. රහතන් වහන්සේලාට සොමනස්ස හසිතුප්පාදය සහ සොමනස්ස මහා ක්‍රියා සතර යන සිත් පහ ඇතිවේ. සර්වඥ බුදුවරයන් වහන්සේලා ට සොමනස්ස ඥාණ සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් දෙක පමණක් ඇතිවේ. දැන් අප විසින් මෙතෙක් විස්තර කරණ ලද සිත් සියල්ලම, එනම් අකුසල් සිත් දොළොසත්, අහේතුක සිත් අටළොසත් යන සිත් තිහම (30) අශෝභන සිත්නම් වේ. අහේතුක සිත් දහඅටම මෙහෙයීමක්, උනන්දු කරවීමක් නැතිව උපදින හෙයින් අසංඛාරික වේ.
- අශොභන සිත් 30
- අකුසල් 12
- ලොභමූල 8
- දොෂමූල 2
- මොහමූල 2
- අහේතුක 18
- අකුසල විපාක 7
- කුසල විපාක 8
- ක්‍රියා 3
- අකුසල් 12
| අශොභන සිත් 30 | සිත් සඞ්ඛ්‍යාව | සුඛසහගත | දුක්ඛසහගත | සොමනස්ස සහගත | දොමනස්ස සහගත | උපෙක්ඛා සහගත | සම්ප්‍රයුක්ත | විප්‍රයුක්ත | අසංඛාරික | සසංඛාරික |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| අකුසල් සිත් | 12 | — | — | 4 | 2 | 6 | 8 | 4 | 7 | 5 |
| අහේතුක අකුසල විපාක සිත් | 7 | — | 1 | — | — | 6 | — | 7 | 7 | — |
| අහේතුක කුසල විපාක සිත් | 8 | 1 | — | 1 | — | 6 | — | 8 | 8 | — |
| අහේතුක ක්‍රියා | 3 | — | — | 1 | — | 2 | — | 3 | 3 | — |
| මුළු ගණන | 30 | 1 | 1 | 6 | 2 | 20 | 8 | 22 | 25 | 5 |