ධ්‍යාන ලැබීමට සුදුසුකම්
ධ්‍යාන උපදවා ගැනීමට හේතු සම්පත් තිබිය යුතුය.
- ත්‍රීහේතුක ප්‍රතිසන්ධියක් ඇති පුද්ගලයෙකු වියයුතුය. එනම් ඤාණ සම්ප්‍රයුක්ත මහාවිපාක සිත් සතරින් එකක් ප්රතිසන්ධි සිත වශයෙන් ලබා සිටි කෙනෙක් විය යුතුයි.
- සුගති අහේතුක, දුගති අහේතුක, ද්විහේතුක පුද්ගලයන්, ශීල විසුද්ධිය මුදුන් පමුණුවා, බුදුන්වහන්සේ ආචාර්ය්ය කොට, කමට හන් ගෙණ, දිවිතෙක් භාවනා කෙළේ වී නමුත් ධ්‍යාන නො ලබයි. ඇතැම් විට තම අදහස් ඉටු නොවීමෙන්, කළ කිරීමට හෝ උන්මාද බවට හෝ පැමිණ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව නිෂ්ඵල දෙයකැයි, හිස් දෙය කැයි, වැරැදි දෘෂ්ටි ගෙණ අපාගත වන්නේය.
- විපාකාවරණයෙන් නො මිදුණු, සුගති අහේතුක දුගති අහේතුක පුද්ගල තෙමේ, මතු ආත්මයෙහි ධ්‍යාන ලබමියි සිතා භාවනා කරන්නේ නම්, ඔහුගේ භාවනාව හිස් නො වන්නේය. දෙවෙනි, තුන්වැනි භවයෙහිවත් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබ, භාවනා කර වහා ධ්‍යාන ලබන්නේය.
- සසර භාවනා පුරුදු කළ කෙනෙක් ද විය යුතුය. එවිට හෙතෙම ගොයම් කමත් ආදියෙහි පවා වහාම කසිණ නිමිත්ත ලැබ ධ්‍යාන උපදවා ගනියි.
- ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලැබුණේ වී නමුත්, මේ ආත්මයෙහිම මව්පියන් මැරීම් ආදී පඤ්චානන්තරිය කර්ම කළවුන්ට, කර්මාවරණය නිසා ධ්‍යානය නො ලැබේ.
- මහත් ධන සම්පත් ආදිය ඇති තැනැත්තා ද, වස්තු ලෝභය නිසා ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලැබුණේ වී නමුත් ධ්‍යානය නො ලබයි.
- උපසම්පද භික්ෂූන් පාරාජිකාපත්තියට පැමිණ, ශ්‍රමණ ප්‍රතිඥාවෙන් ශාසනයෙහි වසන තෙක්, ත්‍රිහේතුක ප්රතිසන්ධි වූවද, ධ්‍යාන නො ලබයි. ඔහු ගිහිව, පන්සිල් දශ සිල් ආදියෙහි පිහිටා භාවනා කළහොත් ධ්‍යාන ලබයි.
- ක්ලේශාවරණයෙන් මිදුනු කෙනෙක් ද විය යුතුයි. මිථ්‍යා දෘෂ්ටිය බලවත් ක්ලේශයක් බැවින් එයින් තොරව විසිය යුතුයි.
- ධ්‍යානලාභී ආචාර්ය්යවරයෙකු හමුවෙහි පිරිසිදු ශීලයෙහි පිහිටා, උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ගෙණ, තමන්ගේ චරිතයට සුදුසු කමටහනක් ලබාගෙන, භාවනාවට යෝග්‍ය වූ ගොචර ස්ථානයකට එළඹ, තුනුරුවන්ට තමන් ගේ ජීවිතය පුදා, භාවනා ආරම්භ කළ යුතුය. පිරිසිදු ශීලයෙහි නො පිහිටි යෝගාවචරයා හට සමා ධිය නො ලැබේ. ගිහිව හෝ පැවිදිව හෝ සියලුම කාය වාක් දුශ් චරිතයන්ගෙන් වෙන්ව, නිවැරැදි ජීවිකාවක් ඇතිව, කාම වස්තූන් කෙරෙහි ඇලීමක් නොමැතිව විසිය යුතුයි. භාවනාවට අගෝචර ස්ථානයන්හි ද සිත එකඟ කරගත නො හැකි වේ.
අගොචර ස්ථාන නම් මහා ආවාස, නව ආවාස, ජරා ආවාස, මහා මාර්ගාසන්න ආවාස, ගල්, පොකුණු, පලාපත්, මල්, ගෙඩි ජාති ඇති ආවාස, මහාජනයා ගැවසෙන ආවාස, නගරාසන්න ආවාස, දැව දඬු ඇති ආවාස, පටුන් අසල ආවාස, පිටිසර ආවාස, රාජ්‍ය සීමා අසල ආවාස, විසභාග රූපයන් හා පුද්ගලයන් ඇති ආවාස, අමනුෂ්‍ය යන් ඇති ආවාස, කල්‍යාණ මිත්‍රයන් නැති ආවාස, ක්ෂෙත්රාසන්න ආවාස යන ආදියයි. මෙයින් වෙන් වූ, නො දුරු නො ලං, ගමනා ගමනයට පහසු, සුදුසු කල්‍යාණ මිත්‍රයන් ඇති ස්ථාන, භාවනාවට යෝග්‍ය ස්ථාන හෙවත් ගොචර ස්ථාන නම් වේ. ඉහත කී අගෝචර ස්ථානයන්හි, මනුෂ්‍ය, අමනුෂ්‍ය, තිරිසන් ආදී සතුන්ගෙන් ද, වෙනත් සිත් ඇදගන්නා රූප ශබ්දාදි නොයෙක් අරමුණු වලින් ද, උපද්‍රව පැමිණිය හැකි බැවින් භාවනාවට සුදුසු තැන් නොවන්නේ ය.
කමටහන් යනු භාවනා කර්මයට සුදුසු පඨවි කසිණාදි සතලි සක් (40) අරමුණු අතුරෙන් එකකි. ඒ ඒ චරිතයන්ට සුදුසු කමටහන් නියම කර ඇති හෙයින්, ආචාර්යයන් වහන්සේ විසින් යෝගාවචරයා විමසා, ඔහුගේ චරිතයට අනුකූල වූ කමටහනක් දීමෙන්, නිසි මග යවනු ලැබේ.