අකුසල් සිත් 12.
අකුසල් කිරීමට මෝහය ප්‍රධාන හේතුවකි. මෝහය නැති විටෙක අකුසලයකුත් නැත. මෝහය නම් අන්ධකාරයක් සේ, අරමුණු ස්වභාවය මුවහ කරන ගතියයි. මෝහයෙන් මුළාවූ සිතට ඇත්ත යුත්ත, සත්‍යය අසත්‍යය, වරද නිවරද, නොදැනේ. එහෙ යින් ඒ සිතින් අයහපතක්, වරදක් පාපයක් මිස යහපතක් කළ නො හැකිය. එබැවින් සෑම අකුසල සිතකම මෝහ මූලය ඇති වේ.
මෝහයෙන් මුළාවූ යම් සිතකට ඉෂ්ට වූ ප්‍රියමනාප වූ හෝ මධ්‍යස්ථ වූ හෝ, රූප ශබ්දාදී අරමුණක් හමුවූවිට ඒ අරමුණෙහි ඇලීමක්, ආශා කිරීමක් ඇති වේ. එයට ලෝභයයයි කියනු ලැබේ. මේ ලෝභය ද ඇතැම් අකුසල් සිත් උපදවන හේතුවකි. හෙවත් අකුසල මූලයකි. මෝහ මූලය සහිත වූ මේ සිත්වල ලෝභ මූලය ප්‍රකට බැවින් ඒ සිත් ලෝභමූල සිත් නම් වේ.
එසේම මෝහයෙන් මුළාවූ යම් සිතකට අනිෂ්ට වූ, අප්‍රිය වූ, නොකැමැති වූ අරමුණක් හමුවූවිට, ඒ අරමුණ නිසා යම් කිපීමක් තරහ ගතියක් ඇති වේද, එයට ද්වේෂ යයි කියනු ලැබේ. මේ ද්වේෂයද ඇතැම් අකුසල් සිත් උපදවන හේතුවකි. හෙවත් අකුසල මූලයකි. මෝහ මූලය සහිත වූ මේ සිත්වල ද්වේෂ මූලය ප්‍රකට බැවින් ඒ සිත් ද්වේෂමූල සිත් නම් වේ.
ඇතැම් විටෙක මෝහය බලවත් වීමෙන් අරමුණ නිශ්චය කරගැනීමට නොහැකි වේ. එවිට අරමුණෙහි ඇලීමක් හෝ කිපීමක් ඇති වීමට අවකාශ නැත. මේ සිත්වල අවිනිශ්චිත ස්වභාවය හෝ නොසන්සුන් ගතිය හෝ ප්‍රකට වේ. මෝහ මූලය පමණක් බලවත්ව යෙදුන හෙයින් මේ සිත් මෝහමූල නම් වේ.
මේ පිළිවෙළට උපදින අකුසල් සිත්, මූල හෙවත් හේතුන්ගේ යෙදීම අනුව, තුන් කොටසකට බෙදනු ලැබේ. එනම් ලෝභ මූල සිත් 8ක් ද ද්වේෂ මූල සිත් 2ක් හා මෝහ මූල සිත් 2ක් ද වේ.
දස අකුසල් ආදී කොට ඇති සෑම අකුසල කර්මයක් ම මේ අකුසල් සිත් 12 න් සිද්ධවේ. දස අකුසල කර්ම නම්:— (1) ප්‍රාණ ඝාතය හෙවත් සතුන් මැරීම (2) අදත්තා දානය හෙවත් අන්සතු වස්තුව සොර සිතින් පැහැර ගැනීම (3) කාම මිථ්‍යාචාරය හෙවත් කාමයෙහි වරදවා හැසිරීම (4) මුසාවාදය හෙවත් බොරුකීම (5) පිසුණා වාචා හෙවත් කේලාම් කීම (6) ඵරුසාවාචා හෙවත් පරුෂ වචන කීම. (7) සම්ඵප්පලාප හෙවත් හිස් කථා කිරීම (8) අභිධ්‍යා හෙවත් අන් සතු වස්තුවට ආශා කිරීම - දැඩි ලෝභය (9) ව්‍යාපාදය හෙවත් අනුන්ගේ විනාශය පැතීම (10) මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි ලබ්ධියයි.
මේ අකුසල කර්ම අඞ්ග සම්පූර්ණ වීමෙන් කර්මපථ බවට පැමිණ ප්රතිසන්ධි විපාක හා ප්රවෘත්ති විපාක ද ගෙන දෙති. අඞ්ග සම්පූර්ණ නොවූ අකුසලකර්ම ප්රවෘත්ති විපාක පමණක් දෙති.
මොහය සෑම අකුසලයන්ටම මූලික හේතුවක් යයි දක්වන ලදී. අඥානකම, මෝඩකම, මුළාව අවිද්‍යාව නොදැනීම යයි කියනු ලබන්නේත් මේ මොහයටමය. මේ මොහයෙන් මුළා වූ තැනැත්තාට මිස මුළා නොවූ තැනැත්තාට අකුසල් සිත් පහළ නොවේ.
අද ලෝකයේ බොහෝ නුවණ ඇති ශාස්ත්‍ර ඥාණයෙන් ඉතා දියුණු වූ උසස් යයි සම්මත අය විසින් මෙකී ප්‍රාණ ඝාත, කාම මිථ්‍යාචාර සම්ඵප්පලාප ආදී නොයෙක් අකුසල් කරන බව රහසක් නොවේ. ශරීරයට සැප දියයුතු යයි සලකා සතුන් මරා හෝ මරවා ඔවුන්ගේ මාංශ සහ වෙනත් අවයවයන් නොයෙක් අයුරින් පිළියෙල කරවා අනුභව කරති. කරවති. බිත්තර වර්ග ද බිඳ හෝ බිඳවා ආහාරය පිණිස ගනිති. ක්‍රීඩාවක් යයි සලකා මසුන් ඇල්ලීම කරති. දුකෙළියෙහි යෙදෙති. මත් පැන් ද පානය කරති. අසරණ සත්ත්වයන් ඇල්ලීමට උගුල් අටවති. දඩයම් කරති.
තවත් උසස් විද්‍යාඥයෝ මොහොතකින් සත්ත්වයන් සහිත වූ රටවල් විනාශ කරවන පරමාණු ආයුධ නිපදවති.
ධර්මය අනුව සළකතොත් මේ අය මරණින් මතු මහා අපා දුකට පැමිණෙන බව ඒකාන්තය.
මේ හැර ඇතැම් අය මිථ්‍යා දෘෂ්ටිය වැළඳ ගෙන දේව නිර්මාණය සදාකාලික ස්වර්ගය යනාදී දෘෂ්ටි ගනිති.
කර්මය හා කර්මවිපාක පිළිබඳ විශ්වාසයක් නැති, මෙලොව සැප විඳීම පිණිසම උත්සාහ කරන, මේ අය ධර්මය නොදත් හෙයින් නොයෙක් අකුසල් කිරීම පුදුමයට කරුණක් නොවේ. ඔව්හු තමන් නො දැනුවත්වම වරදක් යයි නොදැන, නොයෙක් අකුසල් කොට අපාගත වෙති. මිථ්‍යා ලබ්ධිය ගනු ලබන්නේ මේ ධර්මඥානය නැති හෙයිනි. මෝහය යයි කියනු ලබන්නේ ත් මේ නො දැනීමටය. ආරම්මණ තත්ත්වය නොවැටහීම මෝහය වේ.
මෙකල ධර්මය උගත් බෞද්ධයෝ ද වරද දැන දැනත් පව්කම් කරති. ඔවුන්ගේ ඒ අකුසල කර්මවල විපාක නැත්තේ නොවේ. පාපයෙන් වැළකී කුසල් කිරීමට සසර කුසල් කළ පුරුද්ද ඇතිවිය යුතුයි. එසේ සසර පුරුදු කළ ගුණ ධර්ම ඇති පුද්ගලයා නොමහ නොගොස් ධර්මයෙහි වහා හික්මෙන්නේ ය.
මෙතැන් සිට මේ අකුසල් සිත් දොළොස වෙන් වෙන් වශයෙන් විස්තර කරණු ලැබේ. පළමු කොට ලෝභමූල සිත් අට දක්වා පසුව දෝෂ මූල සිත් දෙක ද මෝහමූල සිත් දෙක ද දැක්වේ.
ලෝභ මූල සිත් අට පළමුවෙන් දැක්වීමට ද හේතු ඇත්තේය. ලෝභය වනාහී සියළුම සත්ත්වයන්ගේ පටිසන්ධිචිත්තයට පසුව පහල වන පළමුවෙනි චිත්ත වීථියේදී ම ඇතිවන ධර්මයකි. යම් සත්ත්ව යෙකුගේ යම් භවයක පළමුව පිළිසිඳ ගැනීමක් වේද, ඕහට පළමුව ඇතිවන්නේ පටිසන්ධි විපාක සිතය. එයට අනතුරුව භවාඞ්ග සිත් 15 හෝ 16 ක් පමණ ඉපිද නිරුද්ධ වේ. මීට පසුව ඇතිවන්නේ මනොද්වාරාවජ්ජන සිතයි. අනතුරුව තමා උපන් මේ භවයට ඇළුම් කිරීමක් වශයෙන් මේ ලෝභ මූල සිත් අට දෙනා අතුරෙන් යම්කිසි සිතක්, ජවන් සිත් වශයෙන් හත්වරක් ඉපිද නිරුද්ධවේ. එයට පසුව නැවත භවාඞ්ග’ සිත් පරම්පරාව ඇති වන්නේ ය.
මෙසේ ලෝභ මූල සිත් අට දක්වා එයට පසුව දෝෂ මූල සිත් දෙක දක්වන ලදී. ලෝභ මූල සිත්හි ලෝභ, මෝහ යන හේතු දෙකක් ඇත්තේ ය. මෝහ හේතු ඇති දෝෂ මූල සිත් දෙක එයට අනතුරුව දක්වන ලදී. එක් හේතුවක් හෙවත් මෝහ හේතුව පම ණක් ඇති මෝහමූල සිත් දෙක අවසාන වශයෙන් දක්වන ලදී.